පුංචි ඡන්ද ප්‍රතිපලයේ ඇත්ත පැත්ත

 

දේශපාලනයේ දී සංඥානය යථාර්ථය වේ [In politics, perception is reality]
ඡන්ද ප්‍රතිපල මේ වනවිට අර්ථ නිරූපණය කර ඇත්තේ මෙසේය: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ; එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂා කළ තරමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය; ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිය තත්වය තහවුරු කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය. එමෙන්ම, පහළම මට්ටමේ ආණ්ඩුකරන ස්ථරය සඳහා වන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා ජනාධිපති සිරිසේන විසින් ගන්නා ලද තීරණය නිසා ඉතිරි වී ඇති කාලය තුල ඔහු ගේ ජනාධිපති ධූරයේ බල පරාක්‍රමය බෙලහීන වී ඇත.


ආණ්ඩුවේ විවිධ වූ ස්ථරයන්හි හෝ මට්ටම්වල බලය විවිධ පක්ෂ විසින් දරනු ලැබීම, වඩා පරිණත වූ දේශපාලන ක්‍රමයන් පවතින රාජ්‍යයන්හි සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. මධ්‍යම ආණ්ඩුවේ විපක්ෂයේ සිටින පක්ෂ විසින් පළාත් ආණ්ඩු පාලනය කරනු ලැබීම කැනඩාවේ නිරන්තරයෙන්ම පාහේ සිදුවන්නකි. නමුත්, ශ්‍රී ලංකාවේ පවතින සාමාන්‍ය ක්‍රමය සහ අපේක්ෂාව වන්නේ ආණ්ඩුවේ සියළුම ස්ථරයන්හි බහුතර බලය එක් දේශපාලන පක්ෂයක් යටතේ පැවතීමයි. ජයග්‍රහණය කරන පක්ෂයට සියළුම ස්ථරයන්හි බලය ලැබෙන්නේය හෝ ලැබිය යුතුය යන අපරිණත මානසිකත්වය මේ පළාත් පාලන මැතිවරණයෙන් පටන් ගෙන ක්ෂයව යන්නට පටන් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.


යථාර්ථය කුමක් ද?


මෙවර පළාත් පාලන මැතිවරණය වූ කලී, මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය (MMP) ලෙස තාක්ෂණිකව හැඳින්වෙන සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් මුල් වරට මෙරටේ ප්‍රායෝගිකව අත්හදා බලන ලද අවස්ථාවයි. මේ ක්‍රමය මූලික වශයෙන් සමානුපාතික වන අතර දේශපාලන පක්ෂයක් වෙත හිමිවන ආසන සංඛ්‍යාව එම පක්ෂය විසින් ලබා ගන්නා ලද ඡන්ද සංඛ්‍යාවට ඍජුවම වාගේ සමානුපාතිකය. මීට පෙර පැවති ක්‍රමයට වඩා මෙය සමානුපාතිකත්වයට බර දෙයි. මෙහි බෝනස් ආසන නැත. ආසනයකට හිමිකම් කීමට සියයට පහක අවමයක් නැත. නමුත් එල්ලෙන ආසන නිසා යම් ප්‍රමාණයකට පූර්ණ සමානුපාතිකත්වයෙන් එය ඉවත් විය හැක.
මැතිවරණයේ ඉතා වැදගත්ම සංඛ්‍යාව නොහොත් ප්‍රතිපලය වනුයේ කිසියම් දේශපාලන පක්ෂයක් විසින් කිසියම් පළාත් පාලන ආයතනයක ඡන්ද සංඛ්‍යාවෙන් ලබා ගන්නට සමත් වූ ප්‍රතිශතය කුමක් ද යන්නයි. ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ට අඩු සංඛ්‍යාවක් ලබා ගන්නා ලද අවස්ථාවක දී එම පළාත් පාලන ආයතන පාලනය කිරීම පිණිස වෙනස් පක්ෂයක්/පක්ෂ සමග සන්ධානගත වන්නට ජයග්‍රහණය කරන පක්ෂයට සිදු වේ.
කේවල ඡන්ද ක්‍රමය මත පදනම්ව එම පක්ෂය විසින් කොට්ඨාශ කීයක් දිනාගන්නා ලද්දේ ද යන්න මේ කරුණ සඳහා අදාළ නොවේ. කිසියම් පක්ෂයක් විසින් පළාත් පාලන ආයතනයකට අයත් කොට්ඨාශ අතුරින් බහුතරයක් (සාමාන්‍යයෙන් මෙය ආසන වලින් සියයට 60 කි) දිනා ගන්නා ලද අවස්ථාවක දී වුව ද පාවිච්චි කළ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ලබා ගන්නට එම පක්ෂය සමත් වී නොමැති නම් එය පැහැදිළි ජයග්‍රහණයක් නොවේ. ඒ අනුව බලන කළ, විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳ කියවෙන කතා කුමක් වුවත්, පළාත් පාලන ආයතන බහුතරයක බලය පිහිටුවා ගැනීම සම්බන්ධව බොහෝ සාකච්ඡා පැවැත්වෙනු සහ සන්ධාන පාලන පිහිටුවා ගැනෙනු ඉදිරි සති කිහිපය තුල දකින්නට ලැබෙනු ඇත.


කාන්තා නියෝජනයේ අවශ්‍යතාවයන් ද එකතු වූ විට තත්වය තවත් සංකීරණ වනු ඇත. ලබා ගන්නා ලද ඡන්ද වලට සමානුපාතිකව කිසියම් පක්ෂයකට හිමි විය යුතු ආසන සංඛ්‍යාවට වඩා වැඩි ජයග්‍රාහකයින් සංඛ්‍යාවක් කේවල ආසන ක්‍රමය යටතේ තේරී පත්වන අවස්ථාවේ දී තවත් සංකීර්ණතාවන් මතු වේ. මෙම සංසිද්ධිය එල්ලෙන ආසන ප්‍රශ්නය ලෙස හඳුන්වා දෙනු ලැබේ. කේවල ක්‍රමය යටතේ, කාන්තාවන් අවශ්‍ය සංඛ්‍යාව තේරී පත් නොවුනහොත් සියයට 25 ක කාන්තා නියෝජන අවශ්‍යතාවය සපුරාලීම දුෂ්කර වීම ආදී වශයෙන් තවත් ගැටළු මතු වනු ඇත. ආණ්ඩුව, මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම මේ රටේ ජනතාව ද මේ මැතිවරණය සැලකිය යුතු වන්නේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය සම්බන්ධව කරන ලද පළවෙනි පෙර හුරුව ලෙසිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය තුල මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය ඇත්ත වශයෙන්ම කෙසේ ක්‍රියා කරනු ඇති ද යන්න විශ්ලේෂණය කළ යුතුව ඇති අතර අවශ්‍ය සංශෝධන, නුදුරු අනාගතයේ දී පැවැත්වෙන පළාත් සභා සහ ජාතික මට්ටමේ මැතිවරණ සඳහා ගැනෙන ක්‍රියමාර්ගයන් තුලට අන්තර්ගත කළ යුතු වේ.


මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීම අවශ්‍යයැයි පැහැදිළිව පෙනෙන එක් කරුණක් වන්නේ මැතිවරණ ප්‍රතිපල වාර්තා කිරීමේ ක්‍රමයයි. කේවල ජයග්‍රහණයන් තුල, ආසන බෙදී යන ආකාරය සත්‍ය ලෙස නියෝජනය නොවේ. එබැවින්, කේවල ජයග්‍රාහකයින් වාර්තා කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ය. ඇත්තවශයෙන්ම, මුලින්ම වාර්තා කළයුතු වන්නේ එක් එක් පක්ෂය විසින් සමස්ත පළාත් පාලන බලප්‍රදේශය සඳහා ලබා ගන්නා ලද ඡන්ද ප්‍රතිශතයයි. කේවල ජයග්‍රාහකයින් නිවේදනය කළ යුත්තේ ඉන් පසුවය. කේවල ජයග්‍රහණයන් මත පමණක් පිහිටා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේයැයි පැවසීම බෙහෙවින් නොමග යවන සුළු කරුණකි. කේවල තරඟයේ දී දෙවන සහ සමහර විට තෙවන ස්ථානය ලබා ගන්නා අපේක්ෂකයින් ද නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක තීරණ ගැනීමේ අයිතිය සහිත පූර්ණ නියෝජිතයින් වන හැටි ඉදිරි දිනවල පෙනෙනු ඇත.


2015 ජනවාරි 8 ජනවරම


මෙම පළාත් පාලන මැතිවරණයේ දී ලැබුනු ජයග්‍රහණය, 2015 ජනවාරි 8 වන දින පොදු අපේක්ෂකයා වෙත මේ රටේ ජනතාව විසින් ලබාදුන් ජනවරම අතුගා දමන්නකැයි ජ්‍යෙෂ්ඨ පාර්ළිමේන්තු මන්ත්‍රීවරයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකකි. ආණ්ඩුවේ පහළම මට්ටම සඳහා පවත්වන ලද මැතිවරණයක ප්‍රතිපල ජනාධිපතිවරයකුට ලබා දෙන ලද ජනවරම මත නිශේධ කරන්නේ කෙසේ ද?
2018 පළාත් පාලන මැතිවරණය පොර කුකුලු හබයක් ලෙස සැලකිය හැක. 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා සහ පරාජිතයා සෘජුවම තරඟ නොකලද, ඔවුහූ තමන්ගේ පොරකුකුලන් මෙහෙයවූහ. එසේ වෙතත් ගුණවර්ධන මහතාගේ තර්කය බිඳ වැටේ. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා විසින් දිනාගන්නා ලද ඡන්ද සංඛ්‍යාව මුළු ප්‍රමාණයෙන් සියයට 51.28ක් විය. නිල වශයෙන් සහතික කරන ලද අවසන් සංඛ්‍යාවන් තවමත් නිකුත් වී නැතත්, මේ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමස්ත රට පුරා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව එකී ප්‍රතිශතය ඉක්මවා යනු ඇතැයි සිතිය නොහැක. එහෙයින්, 2018 පළාත් පාලන මැතිවරණයේ දී ලබා ගනු ඇතැයි අපේක්ෂා කරන සියයට 45 (හෝ අවසාන ප්‍රතිශතය) 2015 දී ලබා දෙන ලද සියයට 51.28 ක ජනවරම අභිබවා යන්නකැයි නැගෙන තර්කය කඩා වැටේ.

ජනාධිපති සිරිසේන, පොදු අපේක්ෂකයා වශයෙන් එක් ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගන්නා ලද්දේ රටේ යහපාලනය ස්ථාපිත කිරීම උදෙසාය. තමාට ලැබුනු ජනවරම, තමන්ට 2015 වර්ෂයේ දී ඡන්දය දුන් ජනතාව සහ ඔවුන් ගේ ඡන්දය දිනා ගැනීම පිණිස තමන් ලබා දුන් පොරොන්දු යන කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ගැඹුරු ලෙස ආවර්ජනය කළයුතුව තිබේ. මෙම මැතිවරණ ප්‍රතිපලය නිසා ඔහු බෙලහීන වුවද, එම පොරොන්දු ඉටු කිරිමේ හැකියාව සහ වගකීම තවමත් ඔහු සතුව ඇත.

උදාහරණයක් ලෙස, ඓතිහාසිකව අඩුම ප්‍රචණ්ඩත්වයක් සහ රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිත කිරීමේ අවම මට්ටමක් වාර්තා කළ මැතිවරණය වූ මේ අවසන් වූ මැතිවරණය සම්බන්ධ ගෞරවය ලබා ගැනීමේ හැකියාව ඔහුට තිබේ. එය සිය මැතිවරණ පොරොන්දුවක් මූලික වශයෙන් (පළාත් සභා සහ ජාතික මට්ටමේ වෙනස්කම් සිදුකිරීම ඉදිරියට කල යුතුව ඇත) ඉටු කිරීමක් ලෙස පෙන්වා දිය හැක. මේ ඔහු ඒ සම්බන්ධව එදා ලබා දුන් පොරොන්දුවයි.


“මැතිවරණ ක්‍රමය සපුරා වෙනස්කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක්‍රමය වෙනස්කිරීම සහ සෑම මැතිවරණ කොට්ඨාශයකටම අනිවාර්යයෙන්ම එක් මන්ත්‍රීවරයකු හෝ සිටින බවට සහතික වීමයි. මෙම මැතිවරණ සංශෝධනයේදී කේවල ආසන ක්‍රමය සහ පරාජිත අපේක්ෂකයින් ගේ සමානුපාත ඡන්දයේ සංකලනයක් භාවිතාවේ. මේ යෝජනාව මගින් පාර්ළිමේන්තුවේ සංයුතිය වෙනස් නොවන බැවින් පාර්ළිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ එකඟ කරගැනීමට මා හට හැකිවනු ඇත. තවද මෙහිදී අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර එක් මැතිවරණ කොට්ඨාශයකට පමණක් සීමා වන බැවින් නාස්තිය හා ගැටුම් අවම කිරීමට හැකිවේ.”

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමේ ගෞරවය මුළුමනින්ම වාගේ ජනාධ්පති සිරිසේන මහතාට හිමිවේ. මහජනතාව විසින් පත් කරගන්නා ලද නියෝජිතයින් ගේ සහ නිලධාරීන් ගේ කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාව තොරතුරු දැනගැනීමේ පනත හරහා ඔවුනට ලබා දීමේ ගෞරවයද එතුමාට ලබා ගත හැක.
එමෙන්ම, සිය ඇමතිවරුන්ගේ තීන්දු තීරණවලට අවිධිමත් ලෙස ඇඟිලි ගැසීමෙන් වැලකී, සියළුම ඇමතිවරුන් කාර්යසාධන ගිවිසුම් වලට ඇතුලත් කර ගැනීමෙන් ඔවුන් තමන් කරන කටයුතු පිළිබඳව වගවන බවට සාක්ෂාත් කරන පුළුල් වැඩ පිළිවෙලක් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළයුතු ය. ඔහු මේ රටට කරන ලද සේවය ඉතිහාස පොත්වලට ඇතුලත්වනු ඇත්තේ ඒ ආකාර වූ ක්‍රියාවන් තුලින් විනා දේශපාලන පක්ෂයක් තම අධිකාරියට නතු කරගත්තේද නැද්ද යන්න වැනි සිල්ලර කරුණු තුලින් නොවේ.

 රොහාන් සමරජීව

 

පෙබරවාරි 22දා ලංකාදීප පුවත්පතෙහි පල වුනු ලිපියක්