සාක්‌ෂරතාවයෙන් ඉහළ ශ්‍රී ලංකාව සෙනගක්‌ මිස බුද්ධිමතුන් නැති රටක්‌ද?

ලංකාව ලොව සාක්‌ෂරතාවය අතින් ඉහළ තලයක සිටින රටක ලෙස අපි අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු. සාක්‌ෂරතාවය යන්නෙන් අදහස්‌ කරන්නේ (Literacy rate) වයස අවුරුදු 15 ට හෝ ඊට වැඩි ජනගහනයේ ප්‍රතිශතයක්‌ ලෙස සරල වගන්තියක්‌ ලිවීමට කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව සහ සරල ගණිත කර්මයක්‌ කිරීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවේ මෙම අගය 92.6% කි. ඉන්දියාවේ සාක්‌ෂරතාව 72.2% කි. බංගලාදේශයේ අගය 71% කි. මේ අනුව ආසියානු කලාපයේ බොහෝ රටවල්වලට වඩා ශ්‍රී ලංකාව පෙරමුණේ සිටී.


කියුබාවේ සාක්‌ෂරතාවය 98.9% කි. ඉන්දුනීසියාවේ එම අගය 93.9 කි. උතුරු කොරියාවේ එම අගය 100%කි. සිංගප්පූරුවේ එම අගය 98.6%කි. තායිලන්තයේ එම අගය 96.7%කි. බටහිරඉන්දීය කොදෙව්හි සාක්‌ෂරතාවය 99% කි. මීට දශක කිහිපයකට පෙර ලොව සංවර්ධනය මැන බැලීමේ මිනුම් දණ්‌ඩක්‌ ලෙස සාක්‌ෂරතාවය භාවිතා කළ ද මේ වන විට සාක්‌ෂරතා දර්ශකයෙන් පමණක්‌ සංවර්ධනය මැන බැලීය නොහැකි බව සමාජ ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. මීට දශක 4 කට පෙර ශ්‍රී ලංකාවට වඩා බොහෝ පිටුපසින් සිටි සිංගප්පූරුව, මලයාසියාව, කොරියාව, තායිලන්තය, ජපානය, වැනි රටවල් මේ වන විට ශ්‍රී ලංකාව අභිබවමින් බොහෝ ඉදිරියට ගොස්‌ ඇත. නිවැරදි සමාජ ආර්ථික දේශපාලන දැක්‌මකින් යුක්‌තව දිගුකාලීන දැක්‌මකින් කටයුතු කිරීම එහි ප්‍රධාන රහසයි.


n13 3ශ්‍රී ලංකාව සාක්‌ෂරතාවයෙන් ඉහළ අගයක පසු වුවද විද්‍යාව හා තාක්‌ෂණ දියුණුවෙන් ලොව බොහෝ රටවලට සාපේක්‌ෂව පසුවන්නේ පිටුපසිනි. මේ නිසා නිදහසෙන් පසුව වසර 60 ක්‌ ගතවී ඇතත් තවමත් අප සංවර්ධනය වෙමින් පවතින රටක්‌ ලෙස විදේශ රටවලට ණය වෙමින් ජීවත්වීමට සිදුව තිබේ. බ්‍රිතාන්‍යය මනෝ විද්‍යාඥයකු වන රිචඩ් ලයින් සහ පින්ලන්ත දේශපාලන විද්‍යාඥයකු වන ටාටුවැන්හෑන් සමඟ නෙදර්ලන්ත මනෝ විද්‍යාඥ ජෙල්ට්‌ විචට්‌ විසින් සකස්‌ කරන ලද ජාත්‍යන්තර බුද්ධි මට්‌ටම් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 28 වැනි ස්‌ථානයේය. ඒ ලකුණු 79 ක්‌ ලබාගෙනය. එහි පළමු තැන සිංගප්පූරුවට හිමිව ඇත. දකුණු කොරියාව දෙවැනිස්‌ථානයටත්, ජපානය තෙවැනි ස්‌ථානයටත් පත්ව ඇත. ඉතාලිය, මොංගෝලියාව, ස්‌විස්‌ටර්ලන්තය, නවසීලන්තය, ඕස්‌ටේ්‍රලියාව, සියරාලියෝන් මෙන්ම ඉන්දියාව සහ පාකිස්‌තානය පසුවන්නේ ද ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉහළිනි.
මෙයට අමතරව වියට්‌නාමය, රුසියාව, සර්බියාව, බටහිර ඉන්දීය කොදෙව් රටවල් මෙන්ම කියුබාව, භූතානය, ලිබියාව, අරාබිය මෙන්ම ඇෆ්ගනිස්‌තානය, ඉරානය වැනි රටවල් ද පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළිනි.


ජාත්‍යන්තර බුද්ධි දර්ශයේ (National IQ Scores) ශ්‍රී ලංකාවට වඩා පහළින් පසුවන රටවල් කිහිපයක්‌ අතර නේපාලය, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, නයිජීරියාව, මොසැම්බික්‌ හා නවසීලන්තය වැනි රටවල් ප්‍රධාන වේ. මේ අනුව පෙනීයන්නේ ලොව බොහෝ සංවර්ධිත රටවල බුද්ධි මට්‌ටමේ දර්ශකය බොහෝ ඉහළ අගයක පවතින බවයි. එනම් පුරවැසියා කුමන හෝ දෙයක්‌ ලිවීමට හෝ කියවීමට හැකි වූ පමණින් ප්‍රාඥයකු ලෙස සමාජය හමුවේ ක්‍රියාකරන්නේ නැත. අපේ රටේ ජනතාව කලින් කල ලබා ගන්නා දේශපාලන තීන්දු ආදිය බොහෝ විට නිවැරදි නොවන්නේ සෙනඟක්‌ ඇති නමුත් (සෙන අඟ) ඇති නමුත් සමාජ ආර්ථික ක්‍රියාවලියේදී බුද්ධිමත් ලෙස කල්පනා කොට විද්වත් තීරණ ගන්නා පුරවැසියන්ගේ හිඟයක්‌ ඇතැයි පැවසීය හැක.


පශ්චාත් කාර්මික යුගයේදී අදාළ ජාතීන් මනස භාවිත කිරීමේ හැකියාව (Cognitive
stills) මෙම IQ Scores මගින් පැහැදිලිව හඳුනාගත හැක. ජනතාවගේ බුද්ධිමය දර්ශකය ඉහළ බොහෝ රටවල් කාර්මික සංවර්ධනය අත්පත් කරගෙන ඇති බව පෙනේ. මේ සඳහා ජානමය පදනමක්‌ ද පැවතිය හැක. එහෙත් ජනතාව ලබාගන්නා අධ්‍යාපනය හා එය භාවිත කරන අන්දම රටකට සංවර්ධනයට සෘජුවම බලපායි. අප බොහෝ විට කෙටිකාලීන පෞද්ගලික වාසි අපේක්‌ෂාවෙන් පුරවැසි තීන්දු තීරණ ගන්නා සෙනඟක්‌ ඇති රටකි. බොහෝ දූෂණ චෝදනා එල්ල වී ඇති බොහෝ මැති ඇමැතිවරුන් නැවත නැවත මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් උගත් බුද්ධිමත් වෘත්තිකයන් ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කිරීමත් පසුපස ඇත්තේ මෙම රහසයි.


බුද්ධි දර්ශකය කෙරෙහි ජානමය පදනමක්‌ පවතින නමුත් නිසි පරිදි ලබාගන්නා පෝෂණය (Nutrition) ඉතා වැදගත් පාරිසරික සාධකයක්‌ වන අතර දෙවැනි වැදගත් සාධකය අධ්‍යාපනය වෙයි.


අපේ රටේ අධ්‍යාන ක්‍රමවේදය උපාධි උගතුන් මිස බුද්ධිමය වෙනසකින් සමාජය දෙස විප්ලවීය කෝණයකින් බලන පුද්ගලයන් බිහිවීම වෙනුවෙන් හැඩගැසී නැත. විශ්වවිද්‍යාලවල ජීවවිද්‍යා උපාධිධාරීන් අවසානයෙන් නතර වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කළමනාකරණ සහකරුවන් ලෙසිනි. ගණිත උපාධිධාරීන් ඔසුහල් ආරම්භ කළහ. චිත්‍ර කලාවට දක්‌ෂ පුද්ගලයන් බැංකු කළමනාකරුවන්ය. මේ තත්ත්වය යටතේ ඇල්බර්ට්‌ අයින්ස්‌ටයින් කෙනෙකු, ස්‌ටීවන් ජොබ්ස්‌ කෙනෙක්‌ හෝ බිල්ගේඩ් කෙනෙකු අපේ රටෙන් කිසිදා බිහිවන්නේ නැත. පාසල් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රතිපත්ති සකස්‌ කරන්නේ විද්වත් අවබෝධයක්‌ නොමැති දේශපාලකයන්ය. රටක වැදගත්ම අමාත්‍යාංශය බවට පත්විය යුතු විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යාංශය බොහෝ විට බෝඩ් ලෑල්ලකට සීමා වී ඇත.
නව නිර්මාණාත්මක දැනුමකින් යුක්‌ත තරුණ තරුණියන්ට තම නිර්මාණ බිහිකොට ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ නැත. රටේ සිටින ඉහළ පෙළේ බුද්ධිමතුන් හා කළමනාකාරවරුන් බහුජාතික සමාගම්වල වැටුප් ලබන සේවකයන් බවට පත්ව ඇත. ඔවුන් තම බුද්ධිය මෙහෙයවන්නේ ලාංකීය ජනතාවගේ ධනය හා ශ්‍රමය සූරාකමිනි. තම සමාගමේ විදේශිකයන්ගේ ලාභය වැඩි කරන අන්දම ගැනය. මෙහෙත් අවසානයේදී ඔහු ඉහළ පෙළේ ව්‍යාපාර කළමනාකරුවෙක්‌ ලෙස සම්භාවනාවට පාත්‍ර වෙති.


සමාජ සුබසාධක කටයුතු ඉහළින් ක්‍රියාත්මක වන බොහෝ රටවල බුද්ධි මට්‌ටමේ දර්ශකය ඉහළ අගයකි. උතුරු ඇමරිකා යුරෝපා, ඊසාන දිග ආසියා, උප සහරා අප්‍රිකා රටවල සහ දකුණු ආසියා රටවල මෙම දර්ශකය ඉහළ අගයක්‌ ගන්නේ ඒ නිසාය.
රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය එහි බුද්ධි දර්ශකය කෙරෙහ සෘජුව බලපාන අතර කලින් කලට වෙනස්‌ වන අධ්‍යාපන ප්‍රතිපත්ති පැවතීම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළහ. අධ්‍යාපනය විභාග කේන්ද්‍රවීම වෙනුවට අනාගත ආයෝජනයක්‌ ලෙස වැඩි වර්ධනයෙන් යුතු විය. නව නිර්මාණ සඳහා සෑම විටම දොරටු විවෘත විය. සාම්ප්‍රදායික තනි රේඛාවේ අධ්‍යාපන රටාව වෙනුවට විවිධ විෂය පථයන් ඔස්‌සේ ගමන් කිරීමට තරුණ පරපුර හුරු කළ යුතුය.
පූර්ව සැලසුම්වලට අනුව ජීවත්වීම නොව ක්‌ෂණිකව ඇති වන අභියෝගවලට මුහුණ දෙමින් තීන්දු තීරණ ගනිමින් නිවැරදි දිශානතියක්‌ ඔස්‌සේ ගමන් කරමින් අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගමන් කිරීමට පුරවැසියන් පුරුදු පුහුණු කළ යුතුය. ජාතියක නිරෝගීභාවයට ජනතාවගේ බුද්ධි දර්ශකය බලපාන අතර නිතර නිතර රෝගාබාධයන්ට ගොදුරු වීම තුළින් පුද්ගලයා මානසික අඩාල කරයි. මේ නිසා ජාතියක්‌ වශයෙන් නිරෝගීව ඉදිරියට ගමන් කිරීම පුරවැසියන්ගේ බුද්ධි ප්‍රභාව වැඩි කිරීමට ඉවහල් වේ.


මේ අනුව සාක්‌ෂරතාව යන පටු සංකල්පයට පමණක්‌ සීමා නොවී අංශ ගණනාවක්‌ ඔස්‌සේ කුසලතා, ආකල්ප හා හැකියාවන්ගෙන් මානසිකව වර්ධනය වූ ජාතියක්‌ බිහි නොවන්නේ නම් විදේශීය විද්‍යා හා තාක්‌ෂණ දියුණුවට යටපත් ජාතියක්‌ව සැමදා දිවි ගෙවීමට සිදු වනු ඇත. එතෙක්‌ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලින් අපට ගැලවීමක්‌ නොලැබෙනු ඇත.
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව