අය-වැය කතාවට වඩා හොඳ ප්‍රතිපත්ති යෝජනා ඇතුලත් කරගන්නේ කෙසේද?

අය-වැය කතාව යනු සංකීර්ණ ප්‍රතිපත්තිමය යෝජනා වලින් සමන්විත වූවකි. අය-වැය කතාව සමග සම්බන්ධව ඇති සම්ප්‍රදායයන් හේතුවෙන්,ධවල පත්‍රිකා පදනම් කරගනිමින් හෝ වේවා වෙනත් ක්‍රමයකින් හෝ වේවා, එහි අඩංගු වන විශේෂිත ක්‍රියාමාර්ග සෑම එකක් සම්බන්ධයෙන්ම මහජන අදහස් විමසීම කළහැක්කක් නොවේ.

එහෙත්, එම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඒ ඒ විෂයයන් සම්බන්ධව ගැඹුරු දැනුමක් සහිත පුද්ගලයින් වෙතින් පුළුල් අදහස් විමසීමකින් තොරව අය-වැයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාවල විශාල වැරදි තිබෙන්නට, එයින් අපේක්ෂා කරන ප්‍රතිපල උදා නොකරන්නට ඉඩ ඇතිවා පමණක් නොව ඉන් හානි සිදුවන්නට ද ඉඩ තිබේ. 

පරමාදර්ශී තත්වයක තුල, රේඛීය අමාත්‍යාංශයන්හි මෙන්ම සමස්ත සම්බන්ධීකරණ වගකීම දරන අමාත්‍යාංශයේ හෝ අමාත්‍යාංශ වල (උදා: ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය වැනි) අමාත්‍යාංශයන්ට අයත් නිලධාරී කණ්ඩායම්,විවිධාකාර වූ ප්‍රතිපත්ති ගැටළු වලට විසඳුම් සෙවීමේ අභ්‍යාසයන්හි නිරන්තරයෙන් යෙදී සිටිය යුතු ය. එවිට, ඔවුන් ගේ අභ්‍යාසයන්හි ප්‍රතිපල, අර්බුදයක් මතු වූ අවස්ථාවක දී හෝ වෙනත් අවශ්‍යතාවයක් මතු වූ විට දී හෝ අය-වැය කතාවක් සකස් කිරීමේ දී හෝ නව අමාත්‍යාවරයකුට උපදෙස් ලබාදීමට අවශ්‍ය වූ අවස්ථාවක දී හෝ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත. මෙවැනි අවස්ථාවන්, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විද්වත් ලේඛනයන්හි ප්‍රතිපත්ති කවුළු ලෙස හඳුන්වනු ලබයි.


රජය තුල පවතින දැනුම මඳකම


අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ රජය තුල දැන් පවතින පරිසරය යටතේ මේ පරමාදර්ශී තත්වය පවතින්නට ඉඩක් නැත. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එදිනෙදා ඒකාකාරී කටයුතු වලට මැදිවී සිටිති. සංදර්ශනවලට ප්‍රමුඛතාවය දෙති. පර්යේෂණ කටයුතු වල හෝ අවම වශයෙන් ක්‍රමානුකූල ලෙස දත්ත එක්රැස් කිරීමේ සහ සංකලනය කිරීමේ කටයුතු වල යෙදී සිටින රජයේ නිලධාරීන් සිටිනුයේ අතලොස්සක් පමණකි.
රට තුල ස්ථාපනය කර ඇති ජංගම දුරකතන සංඥා කුළුණු සඳහා එකකට මසකට රුපියල් ලක්ෂ 2 බැගින් අයකිරීමට 2018 අය-වැය කතාව තුලින් ඉදිරිපත් කර ඇති යෝජනාව මේ සඳහා හොඳ උදාහරණයකි. බදු අයකරනු ලැබීම සඳහා රටේ පවතින දුරකතන සංඥා කුළුණු සංඛ්‍යාව සම්බන්ධයෙන් පවා ඇමතිවරයාට නිවැරදි තොරතුරු සපයා නැත. දුරකතන කුළුණු 50,000 ක් ඇතැයි ඇමතිවරයා පාර්ළිමේන්තුවේ දී පවසයි. කුළුණු 50,000 ක් සඳහා එකකට රුපියල් මිලියන 2.4 බැගින් වාර්ෂිකව බදු අය කරනු ලබන්නේ නම් එකතු වන මුළු මුදල රුපියල් බිලියන 120 කි. එහෙත්, අය-වැය කතාවට අනුව, කුළුණු වලට අය කරන බද්ද සහ තොග කෙටි පණිවිඩ බද්ද යන දෙකම හරහා වාර්ෂිකව එකතු කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 15 කි. එය අප ඉහත ගණනය කර පෙන් වූ මුදලින් 1/8 කි.


කුළුණු වලට බද්දක් පැනවීමේ ප්‍රතිපලයක් ලෙස, ක්ෂණිකවම කුළුණු සංඛ්‍යාව අඩු කර එක් කුළුණකට වැඩි ඇන්ටෙනා සංඛ්‍යාවක් සවිකිරීමට දුරකතන සමාගම් පෙළඹෙනු ඇතැයි සිතිය නොහැක. මන්ද, දැනටමත් බොහෝ ප්‍රදේශ වල කුළුණු සමාගම් අතර හවුලේ භාවිත වන අතර, මූලිකව සැලසුම් කරන ලද බරට වඩා වැඩි බරක් දරන්නට එම කුළුණු (හෝ ඒවා සවි කර ඇති ගොඩනැගිලි වැනි වෙනත් ව්‍යුහයන්) වලට ශක්තියක් නොමැති බැවින් ඒවායේ අතිරේක ඇන්ටෙනා සවිකිරීම ප්‍රායෝගික කරුණක් ද නොවන හෙයිනි. එහෙයින්, ප්‍රතිපලය විය හැක්කේ දුරකතන සමාගම් විසින් ප්‍රත්‍යන්තයෙහි පවතින කුළුණු ක්‍රියා විරහිත කිරීමෙන් සමහර ග්‍රාමීය ප්‍රදේශ වලට දුරකතන සේවාවන් නැතිවී යනවා පමණක් නොව නාගරික ප්‍රදේශ වල ද සේවා ප්‍රමිතිය පහළ බැසීමයි. දක්නට ලැබෙන සාක්ෂි අනුව පෙනී යන්නේ, දුරකතන කුළුණු සහ ඒ සම්බන්ධිත සංඛ්‍යාතාවලිය පිළිබඳව වගකීම දරන රාජ්‍ය ආයතනය වන විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අදහස් විමසීම පවා මේ යෝජනාව කෙටුම්පත් කළ පුද්ගලයින් විසින් පැහැර හැර ඇති බවයි. තාක්ෂණික අනවබෝධය පුදුමාකාර ලෙස ඉහලය. ඉංජිනේරු උපාධියක් හිමි ඇමතිවරයකු පවසන අන්දමට ශ්‍රී ලංකාවේ සමස්ත ජංගම විදුලිසංදේශ ක්ෂේත්‍රයේ සම්ප්‍රේෂණ කටයුතු දුරකතන කුළුණු නමයකින් මෙහෙයවිය හැක.


දුරකතන කුළුණු සංඛ්‍යාව අඩුවීමෙන් රටේ ජනතාවට සෞඛ්‍යමය ප්‍රතිලාභ ගෙනෙනු ඇතැයි දැක්වෙන අදහස ද මිථ්‍යාවකි. යාබද නොවන සෛලයන් තුලින් සංඛ්‍යාත යළි යළිත් භාවිත කෙරෙන හෙයින් ජංගම දුරකතන ජාලයන්ට අඩු විදුලිබලයකින් ක්‍රියාත්මක වන සම්ප්‍රේෂණ-ග්‍රාහක මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේය යන කරුණ, අධික සම්ප්‍රේෂණ බලයක් භාවිත කළ, හැකි තරම් උසට ගොඩ නැගූ ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුළුණු පැවති සමයක හැදී වැඩුනු කණ්ඩායමට වටහා ගන්නට නොහැකි වී ඇති බවක් පෙනේ.


දෙවැනියට හොඳම විසඳුම


අපේ පරිපාලන සේවය නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර ගත හැකි අවස්ථාව උදාවන තුරු, පංගුකරුවන් හෝ පිටස්තර විශේෂඥයින් විසින් ඒවායේ අහිතකර ප්‍රතිපල පෙන්වා දුන් පසුව, අකුලා ගන්නට හෝ කාටත් නොකියාම වල දමන්නට සිදුවන නොමේරූ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් මුහුණ දෙන්නට සිදුවන අපහසු තත්වය වලකා ගන්නට අප සිදුකළ යුත්තේ කුමක් ද? චින්තන මණ්ඩල විසින් විවිධ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පර්යේෂණ සිදුකර ඒවායේ සොයාගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලබා ගැනීමට හැකියාව ඇති කිරීම මෙයට පවතින විසඳුමයි. ඒ සමගම, එම සොයාගැනීම් යොදාගැනීමට තරම් ප්‍රතිපත්ති සම්පාදකයින් විවෘත මනසකින් යුක්තවීම ද අවශ්‍යතාවයකි.


ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සම්බන්ධව උදාහරණ ලබා දෙන යෝජනාවක් 2018 අය-වැය යෝජනා තුල අඩංගුව තිබේ.
දේශගුණික හා කාළගුණික සාධක මත දිගින් දිගටම යැපුනත් සෑම අවස්ථාවකම ඔවුන්ට මුහුණ දීමට සිදු වූ නියඟ හා ගංවතුර තත්වයන්හි දී පැවති රජයන්, කිසිවකුටත් අසාධාරණයක් නොවන පරිදි මූල්‍ය ආධාර ලබා දෙනු ලැබුවා. මෙම වාතාවරණය යටතේ කාළගුණ දර්ශකයන් මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් සැලසුම් කරනු ලබනවා. මෙම රක්ෂණය මගින් වී, සහ බඩඉරිඟු, සෝයා, ලොකු ළූණු, අල සහ මිරිස් යන භෝග වර්ග 5 ක් ද ඇතුලත් වන පරිදි භෝග වර්ග 6 ක් සඳහා අක්කරයකට රුපියල් 40,000 ක උපරිම ආවරණයක් ලබා දීමට කටයුතු කරනවා. ගොවියා සහ රජය යන දෙපාර්ශවයම දායක වන ආකාරයෙන් මෙම දායකත්ව රක්ෂණ ක්‍රමය සැකසෙනවා. 2018 දී රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 3000 ක් මේ සඳහා ආයෝජනය කරනු ලබනවා.


එමෙන්ම නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් ද කාර්යමණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවමින් ද කාලගුණ දෙපාර්තමේන්තුව උසස් මට්ටමට පත් කරනවා.
හානි පූරණ භෝග රක්ෂණය වෙනුවට කාළගුණ දර්ශක පදනම් කර ගත් රක්ෂණය, ඉන්දියාව, කෙන්යාව සහ ඉතියෝපියාව වැනි රටවල ක්‍රමයෙන් පිළිගැනෙමින් පවතින නමුත් එය ශ්‍රී ලංකාවට අළුත් සංකල්පයකි. දර්ශක පදනම් කර ගත් ගෙවීම් සිදුකරනු ලබන්නේ වර්ෂාපතනය වැනි, කලින් නියම කරගන්නා ලද කරුණු පදනම් කර ගනිමිනි. හානිය සිදුවූ ස්ථානයට ගොස් තක්සේරු කිරීම එහි දී අවශ්‍ය නොවේ. සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඇතිවීමට ඉඩ ඇති දූෂණ සහ අක්‍රමිකතා වලට ඇති ඉඩ ඇහිරෙයි. ගනුදෙනු පිරිවැය පහළ මට්ටමක පැවතීම සහ සාම්ප්‍රදායික හානි පූරණ පදනම මත සිදුකරන රක්ෂණ සමග බැඳී පවතින සදාචාරාත්මක ගැටළු (moral hazard) සහ තේරීම් සිදුකිරීමේ දී මතුවන අහිතකර තත්වයන් (adverse selection) උද්ගත නොවීම මෙම රක්ෂණ ක්‍රමයේ විශේෂිත වන ලක්ෂණයි.


ඉහත යෝජනාව ඒ ආකාරයෙන්ම මුදල් අමාත්‍යාංශය තුලින් මතුවූවා නොවේ. පසු ගිය වසර අගභාගයේ දී ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් Talking Economics බ්ලොග් අඩවියේ පලකළ ලිපියක් තුල ඉහත ප්‍රතිපත්ති මෙවලම් පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබිණි. කාලගුණ මධ්‍යස්ථාන හිඟකම සහ වාර්තා කිරීමේ පවතින ප්‍රමාදය වැනි හඳුනාගත් ගැටළු ද සාකච්ඡා කර තිබිනි. කාළගුණ දර්ශක පදනම් කරගත් රක්ෂණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් කරන ලද අධ්‍යයනයන් පිළිබඳ තොරතුරු 2016 නොවැම්බර් සහ 2017 ජනවාරි මාස වල දී ඉංග්‍රීසි පුවත්පත් වල ප්‍රසිද්ධ කර තිබිනි. සමහර විට, මේ පිළිබඳව වඩාත් විස්තරාත්මක තොරතුරු විද්‍යුත් මාධ්‍ය විසින් සහ සිංහල පුවත් පත් විසින්ද හෙළි දක්වන්නට ඇත.


කාළගුණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහ මානව ධාරිතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීම යන කරුණම, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණය විසින් කිසියම් බලපෑමක් සිදුකරන ලද්දේය යන්න පැහැදිළි කරන්නකි. රක්ෂණ ක්‍රමය භෝග 6 කින් ආරම්භ කිරීමට තීරණය කිරීමෙන් වැටහෙන්නේ සුළුවෙන් අරඹා ඉදිරි කන්න කිහිපයක් තුල ලැබෙන අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගන්නට අපේක්ෂා කරන බවයි.
චින්තන මණ්ඩල විසින් ප්‍රතිපත්ති සම්බන්ධිත පර්යේෂණ වැඩි වැඩියෙන් සිදුකිරීම සහ රාජ්‍ය නිලධාරීන් එම ප්‍රතිපත්ති පර්යේෂණ පිළිගැනීමට වැඩි සූදානමක් පැවතීම මෙන්ම දේශපාලකයින් ගේ නොදැනුවත් ප්‍රකාශ නිසා රජය අපහසුවට පත්වීමෙන් වැලකීම සහ බදු ගෙවන්නන් ගේ මුදල් විශාල ප්‍රමාණ වලින් ඉතිරි කිරීම කර දෙන මේ ආකාරයේ ජයග්‍රහණයන් ලබා ගන්නට අප කල යුත්තේ කුමක්ද?


කාළගුණ දර්ශක පදනම් කරගත් රක්ෂණ ක්‍රමය ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමේ කාර්යයට, මා සම්බන්ධව සිටින චින්තන මණ්ඩලය වන ලර්න්ඒෂියා ආයතනයට දායක වීමේ හැකියාව තිබෙන්නට පුළුවන. සාම්ප්‍රදායික කාළගුණ මධ්‍යස්ථාන වලින් ලැබෙන වර්ෂාපතන දත්ත වලට අතිරේක වශයෙන්, සෑම තැනකම දක්නට ලැබෙන (වැරදි තොරතුරු මත පදනම්ව වසා දැමීමට වෙහෙසෙන) ජංගම දුරකතන කුළුණු වල වර්ෂාව නිසා සිදුවන මයික්‍රෝවේව් තරංග ක්ෂයවීම යොදා ගන්නා පර්යේෂණ ව්‍යාපෘතියක් ලර්න්ඒෂියා ආයතනය විසින් මේ දිනවල සකස් කරමින් සිටී. පරමාදර්ශී තත්වයක් තුල නම්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව උපකරණ මිල දී ගැනීම උදෙසා වැය කිරීමට නියමිත රුපියල් මිලියන 200 න් සුළු කොටසක් හෝ මෙවැනි නව සොයා ගැනීමකට සහාය දීම සඳහා යොදවනු ඇත.


මෙම ක්‍රමවේදය නෙදර්ලන්තය විසින් ඔප්පු කරන ලද්දක් වන අතර මෙහි සිදුකරන පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා දේශීය ජංගම දුරකතන සේවා සපයන සමාගම් වල සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සහාය අපට ලැබේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීමට හේතු විය හැකි එකම කරුණ නම් ඉදිරිපත් වන වෙනත් වඩා ආකර්ශණීය යෝජනා නිසා තරඟකාරී ජාත්‍යන්තර ප්‍රතිපාදන අපට අහිමි වීමයි.

රාවය

රොහාන් සමරජීව