රාජ්‍ය භාෂා පනත සහ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක

"සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ය.

එම පනතට විරෝධය පළ කරමින් ෆෙඩරල් පක්ෂ අනුගාමිකයින් ගාලු මුවදොර පිටියේදී සත්‍යග්‍රහයක් දියත් කළහ. අවසානයේ සිදු වූයේ සාමකාමී සත්‍යග්‍රහයට සිංහල දේශප්‍රේමීන්ගෙන් පහර එල්ල වීමය.

bash

1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ආර් ද සිල්වා මහතා තනි භාෂා ප්‍රතිපත්තියක් හරහා රට දෙකඩ වීමේ අවදානමක් ඇති බව පවසන විට ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී චෙල්වනායගම් මහතා , දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත් නොකරන්නැයි සිංහල නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය භාෂාව සටන් පාඨය කරගෙන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා බලයට පත් වන්නේ මේ පනතට මාස දෙකකට පෙරය.

උපතින් සිංහල ක්‍රිස්තියානි පවුලකින් පැවත ආ හෙතෙම දේශපාලනයට පිවිසෙන්නේ බුද්ධාගම වැළඳ , යුරෝපීය ඇඳුම් අතහැර රෙද්ද බැනියම ද ඇඳගෙනය.

රාජ්‍ය භාෂා පනත හරහා සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව කරන ඔහු තම දූවරු දෙදෙනා කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ද පුතණුවන් කොළඹ රාජකීය විද්‍යාලයට ද යවා අධ්‍යාපනය ලබා දුන්නේය.

ba

 

පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ එදා රාජ්‍ය භාෂා පනතට එරෙහිව ගාලු මුවදොර සත්‍යග්‍රහයක යෙදී පහරකමින් තම විරෝධය පළ කළ දමිළ විරෝධතාකරුවන් ය.

දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැරණි පාර්ලිමේන්තු පරිශ්‍රයට නුදුරින් හොංකොං දේශය මූලික වූ අභිනව ෂැන්ග්‍රි ලා හෝටලය ඉදිරිපස සිට එදා භාෂා පනතට එරෙහිව සත්‍යග්‍රහ සිදු වූ ගාලු මුවදොර දෙස බලා සිටින එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව ය.

කොල්වින් සහ චෙල්වනායගම් ප්‍රතිමා දක්නට නැති නමුත් ඔවුන් විනිවිද දුටු අනාගතය අප ඉදිරියේ වර්තමානයේ ගිනි ලෙස පුළිඟු දැල්වෙයි.

දේශපාලනික වාසි උදෙසා තමන් කැපූ මරුවළ පරම්පරා ගණනකට විවර කර , නමුත් තම සුතඹුවන්ට පමණක් එය මගහැර යන්නට දිරි දුන් මිනිසුන් අද ගල් පිළිම වී බලා හිඳී.

ඒ අතීතයෙන් උපන් භස්මප්‍රචන්න ජාතවේදයන් වරින් වර , තැනින් තැන නැගී - ඉපිළී රටක් දවාලන අයුරු ඔබට නොදැනේද ?


- සහන් කසීර වික්‍රමසිංහ