ගුරුවරිය දණ ගැස්සූ සිද්ධියට මුල් වූ මහ ඇමැති යළි අධ්‍යාපන ඇමැති ධුරයට පත් කිරීමට විරෝධය
බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය නිල නිවෙසට කැදවා දණ ගසා සමාව ගැනීමට සැලැස්වී යැයි කියන සිද්ධියට මුල්වූ ඌව පළාත් මහ ඇමැති සම්පත් දසනායක නැවත වතාවක් එම පළාත් අධ්‍යාපන ඇමැති ධුරයට පත් කිරීම පිළිබඳ දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව මහ ඇමැතිවරයාට එරෙහිව දැඩි විරෝධතාවක් පළ කළ බැවින් අදාළ පරීක්ෂණවලට බාධා නොවීමට යැයි පවසමින් ඌව පළාත් අධ්‍යාපන ඇමැති ධුරයෙන් මහ ඇමැතිවරයා ඉවත් කරන ලද බවත් හෙතෙම සිහිපත් කරයි.
උෟව පළාත් ආණ්ඩුකාරවරයා තමන් විසින්ම පරීක්ෂණයක් කිරීමට නිලධාරියකු පත්කර පරීක්ෂණය අවසන් වීමටත් පෙර මහ ඇමැතිවරයා නැවතත් අධ්‍යාපන ඇමැති ධුරයට පත් කිරීම කනගාටුදායක තත්ත්වයක් බව සඳහන් කරන ජෝෂප් ස්ටාලින් ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගේ මේ ක්‍රියාවෙන් ආණ්ඩුව චූදිතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මනාව පැහැදිලි වන බවත් පවසයි.
පරීක්ෂණ අවසන් නොවී තිබියදී උෟව පළාත් ආණ්ඩුකාරවරයාගේ මේ කාර්ය කනගාටුදායක බවද පවසන ලංකා ගුරු සංගමය මහ ඇමැතිවරයා අධ්‍යාපන ඇමැති ධුරයෙන් වහා ඉවත් කර විදුහල්පතිනියට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
දයා පෙරේරා