'දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව නෙළුම් පොහොට්ටුව මතින්' මහින්දට සම්බන්ධන්ගෙන් පිළිතුරක්

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළේය.

විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.

සම්බන්ධන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තම පක්‍ෂය, නොබෙදුණු තනි රටක් යන රාමුව තුළ සිට මෙම තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තු වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

''දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්.

රාජපක්‍ෂ මහතා මේ ක්‍රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින්'' යැයි පවසා සිටියේය.

එසේම වෙනම දමිල ඊළමක් පිළිබඳ කිසිඳු සඳහනක් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති බවත් තමන් දකුණේ සිංහල ජනතාව සමඟ බලය බෙදා ගැනීමට මේ වන විටත් පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බවද විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේය.