අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර ගතවෙද්දී මෙන්ඩිස් සමාගමට වෙනදේ මෙන්න

 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය ලබන 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද(05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  එම නියෝගය සිදු කොට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් රහස්‍ය තොරතුරු උපයෝගී කරගෙන බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි 9147ක අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.
 
2016 වසරේදී වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ චෝදනා පොදු දේපල පනතේ හෝ දණ්ඩ නීති සංග්‍රහයේ  සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනා යටතේ ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබා දෙන ලෙසයි.

ඒ අනුව ඇප ඉල්ලීම දින දෙකක් තුළ ලිඛිතව ලබා දෙන ලෙස නියෝග කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 07 වනදායළි නඩුව කැඳවීමට නියම කර තිබේ.

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවයි

 මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති බව සඳහන්ය.

තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට සිදු වන බව ද සඳහන්ය.