විදෙස් සවාරි වෙනුවෙන්පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් ජනතා බදු මුදලින් උපයන කෝටි ගණනක මුදල් වියදම් කර ඇති බවත්,
තම ආණ්ඩුවක් පැමිණි විට මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ තංගල්ලේදී (01දා) පැවැති ජනහමුවක් අමතමිනි.
තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද, විෂයභාර අමාත්‍යාංශය එයට පිළිතුරු ලබාදිය නොහැකි බව දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් කීදෙනෙක් විදේශ සංචාර ගොස් තිබෙනවාද?, කරපු පරීක්ෂණ මොනවාද? ඒ සඳහා වූ වියදම් මොනවාද? ගියපු අයගේ නම් මොනවද කියා මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසුවා.එයට උත්තර දිය නොහැකි බව දන්වා තිබෙනවා.
විවෘතව පරීක්ෂණ කරනවා කියපු ආණ්ඩුව දැන් තොරතුරු දෙන්න බැහැ කියනවා.
මේ නිලධාරීන් ලෝකෙ වටේ ගොස් ජනතාවගේ මුදල් විනාශ කරනවා. මේ රටේ ජාතික සම්පත්, පොහොර සහනාධාරය, සමෘද්ධිය දෙන්න තියෙන,නිලඇඳුම දෙන්න තියෙන මුදල් තමයි මේ වියදම් කරන්නෙ.
බදු සල්ලි එකතු කරලා පොලිස් නිලධාරීන් ඒ සල්ලිවලින් කෝටි ගණන් වියදම් කරනවා විදේශ සංචාර යන්න. අපේ ආණ්ඩුවක් ආවම පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් පිටරට ගොස් සල්ලි වියදම් කළ අකාරය ගැන හොයන්න කටයුතු කරනවා” යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේය.