2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය තාවකාලිකව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන රට වන රුසියාව මෙරට තේ සඳහා පනවා ඇති තහනම ක්‍රියාත්මක කර දින කිහිපයක් ගතවීමට පෙර මෙලෙස එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී රුසියාව පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූ තේ තහනම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමෙන් පසු රුසියානු තේ තහනම ඉවත් කර ගැනීමට හැකි වනු ඇති බවටයි මෙහිදී අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර ඇත්තේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස තාවකාලිකව ඇස්බැස්ටස් සෙවිලි තහඩු නිෂ්පාදනය සහ ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.
තත්ත්වයෙන් නුසුදුසු ඇස්බැස්ටස් ආනයනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට ද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කළ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
ලොව විශාලතම ඇස්බැස්ටස් නිධි පිහිටා ඇත්තේ රුසියාව, චීනය, බ්‍රසීලය සහ කසකස්ථානය වැනි රටවලයි.
ලෝකයට අවශ්‍ය සමස්ත ඇස්බැස්ටස් ප්‍රමාණයෙන් අඩක්ම නිපදවන්නේ මෙම රටවල් විසින්.
පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට නිෂ්පාදනය සහ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ 2015 වසරේ අගෝස්තු 29 වන දායි.