පදනම් විරහිත මාධ්‍ය වාර්තා පළවූ පමණින් තමන්ගේ නිලධාරීන් ඉවත් කිරීමට කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් (මාධ්‍ය) වන රුවන් ප්රදිනන්දිස් මහතා සේවයෙන් ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක පලවී ඇති පුවත් සම්බන්ධයෙන් කල විමසීමකදී සමරවීර මහතා එබව සඳහන් කළේය.
'ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් සම්බන්ධයි' යන ශීර්ෂයෙන් යුතුව වෙබ් අඩවියක පුවතක් පළකර තිබු අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් නඩත්තුකරන මුහුණු පොත් කිහිපයක් එම පුවතට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ.
මෙම පුවත් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද පැවසිය.
ප්‍රචාරය දුන්නේ බැසිල්ගෙ ගොට්ටෙක්
'' ඔය පුවත පලවී ඇතැයි කියන වෙබ් අඩවියේ කතුවරයා රුවන් සමඟ කලක සිට අමනාපයෙන් සිටින කෙනෙක්. කොහොම වුනත් පදනම් විරහිත මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ නිසා මම මගේ නිලධාරීන් ඉවත් කරන්නේ නැහැ. මීට පෙර මගේ නිලධාරියකු සම්බන්ධයෙන් අධිකරණ ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවේදී එම නිලධාරියාගේ ඉල්ලීම මත මම ඔහුට සේවයෙන් තාවකාලිකව ඉවත්වීමට අවසර දුන්නා.
රුවන් පොලිසියෙන් හෝ අධිකරණයෙන් සැකකරුවකු ලෙස මෙතෙක් කිසි දිනෙක චෝදනා ලැබුවෙක් නෙමෙයි. එහෙම තත්වයක් යටතේ වෙබ් පුවතක් නිසා ඔහුව ඉවත් කිරීමට මගේ සුදානමක් නැහැ. ''
කෙසේවුවද රුවන් ප්රදිනන්දිස් මහතාගේ ඉල්ලීම පරිදි අදාල වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
සැබෑ මිනීමරුවන් රැකගැනීමට ?
මේ සම්බන්ධයෙන් කල විමසීමක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කැලෑ පත්තර වල පලවන අවලාද මඩ ගැහිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම තම ආයතනයේ සම්ප්රදායක් නොවන බවයි.
කවුරුන් හෝ ඒගැන නිල වශයෙන් පැමිණිල්ලක් කළහොත් විමර්ශනයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.
'' එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අපි වසර ගණනාවක් විමර්ශන කළා . ඒ කොතනකවත් රුවන් ගැන කිසිඳු කාරණයක් මතුවෙලා නැහැ. මීට ඉස්සෙල්ලත් මේ වෙබ් අඩවියේ ඒ ගැන වාර්තාවක් පළවුනා. එනිසා අපේ නිලධාරීන් ඒගැනත් නැවත සොයා බැලුව. මේක සම්පුර්න බොරු කතාවක්. නිකන් හිතලුවක් විතරයි.
මෙවැනි පුවත් පළකරන්නේ සැබෑ මිනීමරුවන් ආරක්ෂා කිරීමේ උවමනාවට ද කියල අපට සැකයකුත් තියෙනවා'' එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
ශ්‍රී ලංකා මිරර්