ගීතාගේ මන්ත්‍රී ධූරය පියසේනට

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට අධිකරණය තීරණය කිරීමත් සමඟ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරෙන හිටපු අමාත්‍ය පියසේන ගමගේ හෙට (09) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.

අධිකරණ තීන්දුවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුව පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාගෙන් විමසීමෙන් අනතුරුව මනාප ලයිස්තුවේ මීලගට සිටින පුද්ගලයා එම ධූරය සඳහා නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා.

මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම පුරප්පාඩුව සඳහා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ මීලඟට සිටින පුද්ගලයා නම් කර එවන ලෙස දැනුම් දී ඇති බවයි.

එම දැනුම්දීම අද දිනයේ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඒ අනුව, අද රැස් වන මැතිවරණ කොමිසමේදී මීට අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, එම කොමිසමේ ප්‍රකාශකයා කියා සිටියා.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය පළමුව තීරණය කළා.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද අභියාචනාධිකරණයේ තීන්දුව යලි තහවුරු කළා.

2016 වසරේ අගෝස්තු මස 17 වැනිදා පැවති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකය ලයිස්තුව නියෝජනය කළ ගීතා කුමාරසිංහ මනාප 62,374 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

එම ලැයිස්තුවෙන්ම තරඟ කළ පියසේන ගමගේට හිමිවූයේ මනාප 45,245 ක් පමණයි.