ඩොල්ෆින් මසුන් බේරා නොගත්තොත් ඇමරිකාවෙන් ලංකාවට තහනමක්

දැනට ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීම සඳහා බහුදින ධීවර යාත්‍රා විසින් භාවිතා කරන මරුවැල් හෙවත් Long Line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා තහනමක් පැනවීමේ අවදානමක් මතු වී තිබේ.

 
ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අපනයනය දෙස බැලිමේදී 2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අප රටේ සමස්ත මත්ස්‍ය අපනයනයෙන් 29%ක් හෙවත් මෙට්‍රික් ටොන් 4088ක් මිලදී ගෙන ඇත.
මේ පිළිබඳව අවධානය යොමුකර මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්හට පසුගියදා (27) දැනුම් දී ඇත.

ධීවර අමාත්‍යංශයේදී පැවති උපදේශක සභාව අමතමින් ඇමතිවරයා කියා සිටියේ මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මිය යන බවයි. එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන බවත් එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


මෙම උපාංගය බිලී කොකුවලට කොපුවක් (cliff) වශයෙන් යෙදිය හැකි අතර, එමඟින් ඩොල්ෆින් මසුන් ඇම ඩැහැගත්ත ද ඔවුන්ට හානියක් සිදු වන්නේ නැත. ජාත්‍යන්තර ධීවර නීතිය අනුව ඩොල්ෆින් මසුන් හෙවත් ධීවර ප්‍රජාව විසින් මුල්ලා මසුන් ලෙස හඳුන්වන එම මත්ස්‍ය විශේෂය ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.


ධීවර ප්‍රජාව විසින් ඩොල්ෆින් මසුන් හසුවිම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගතහොත් ශ්‍රි ලංකාවේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙළඳපොල අපට අහිමි වීමට ඉඩ ඇත.