ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට සූදානම් ෆොන්සේකා කියයි

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බැවින් ඊට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු කියා සිටියේ හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බවයි.

එහිදී ජෙනරල් ජගත් ජයසූරියට එල්ල වන  අපරාධ චෝදනා ගැන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මෙසේ පවසා සිටියේය.

 

ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා.

මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා.

 

 

ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් මෙලෙස සාක්ෂි දීමට සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය, සරත් ෆොන්සේකා සඳහන් කළේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා අද හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමිනි.