ස්විස්කුමාර් අල්ලන්නැයි ඇමතිවරිය කියලා

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්

විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිසියට දන්වා ඇතැයි රහස් පොලිසිය ඊයේ (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදා හැර ඇතැයි ඇමැතිවරිය දැනගෙන ඇත්තේ ඊට පසු දින වේලනෙයි ප්‍රාදේශීය සභාවේ පැවැති රැස්වීමකදී බව ද ස්විස්කුමාර් මුදා හැරීම පිළිබඳ පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කරුණු වාර්තා කර ඇත.

සැකකාර ස්විස් කුමාර් මුදා හැර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ බැවින් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා මීට පෙර නියෝග කර තිබිණි.

සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය අනුව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. විද්‍යා දැරිය ඝාතනයෙන් පසු ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මත සැකකරුවන් කිහිප දෙනකුගේ නම් මහේෂ්වරන් මහත්මිය කයිට්ස් පොලිසියට ලබා දී ඇතැයි ද, ඉන් පසු දිනක ස්විස් කුමාර් අල්ලා විදුලි කණුවක බැඳ පහර දෙද්දී ඔහුට පහර නොදී පොලිසියට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි ද, ඒ ගැන ඇය පොලිසියට ද දැනුම් දී ඇතැයි ද රහස් පොලිසිය එහිදී පවසා ඇත.