පාලකයන්ට කාන්තාවන්ගෙ ප්‍රශ්න මතක් වෙන්න කාන්තා දිනයක්ම එන්න ඕන!"

හේමමාලි අබේරත්න - ජාතික සංවිධායිකා - නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

රටේ පාලකයන් ජනතාවගේ ප්‍රශ්නවලට මෙන්ම කාන්තා ප්‍රශ්නවලට විසදුම් නොදෙන තත්වයක කාන්තා දිනයෙදි පමණක් විවිධ සුන්දර කතා කායන බවත් කාන්තා ප්‍රශ්න විසදාගන්නට නම් කාන්තාවන් තම ප්‍රශ්න විසදා ගැනීමේ අරමුනින් ඒකරාශි වියයුතු බවත් 'නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය' පවසයි.

'අනාගතය උදෙසා සටන්කරමු!' යන තේමාවෙන් එම ව්‍යාපාරය විසින් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණ රැලියේදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ඒ බව ප්‍රකාශ කළාය.

එම ප්‍රකාශයේ සාරාංශයක් මෙසේය.

"මෙවර අපි සමරන්නෙ 108 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයයි. ලෝකයේ වෙනත් රටවල කාන්තා දිනය උද්ඝෝෂණික හා සටන් ක්‍රියාකාරකම්වලින් මේ දිනය සමරන නමුත් ලංකාවෙදි කාන්තාවන් ඉන්න තැනින් අඩියක් හෝ ඉහළට ඔසවනවා වෙනුවට පහළට ඇද දමන ආකාරයේ කටයුතු සිදු වෙනවා. අපේ රටේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න දුම්රිය 7ක කාන්තාවන් වෙනු‍වෙන් දුම්රිය මැදිරි 2ක් බැගින් වෙන්කරනවා. කාන්තාවන් දුම්රියේදි මුහුණ දෙන ලිංගික හිරිහැරවලින් මුදන්න මෙවැනි පියවර ගත්තම ප්‍රශ්නය විසදෙනවා කියලා පාලකයන් කල්පනා කරනවා. බස් එකේදි සිදුවන අතවර නිසා වෙනම බස් රථ යෙදවීමෙන් මේ ප්‍රශ්නය විසදෙන්න ඕන. නමුත් අපි දන්නවා ඒක එහෙම වෙන්නෙ නෑ. නමුත් කාන්තාවන්ගෙ ඇත්ත ප්‍රශ්න යටගහලා ඒ වෙනුවට මල් ප්‍රදර්ශණ, කේක් ප්‍රදර්ශණ, වැනි දේවලින් තමයි කාන්තා දිනය සමරනු ලබන්නෙ.

අද අපේ රටේ කාන්තාවන් විසින් උපයන විදේශ විනිමය වැඩිම පංගුවෙන් මේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන බව අප අමතක කළ යුතු නෑ. කාන්තා ශ්‍රමිකයන් විසින් වතු කම්කරුවන් ලෙස, ඇගලුම් ක්ෂේත්‍රයෙන් හා විදේශ සේවයෙන් මේ රටේ වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එක් රැස් කරනවා. කාන්තාවන් විසින් දරන ඒ වගකීම පිළිබද කොතනද ඇගයීමක් තියෙන්නෙ? කවුද ඒකට සාධාරණයක් ඉටු කරන්නෙ.  අයවැය ඉදිරිපත් කරලා මුදල් ඇමති කියනවා විදේශ සේවයේ කාන්තාවන්ට ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරනවා කියලා 'සිහින විමන්' නමින්. නමුත් විදේශ සේවයේ යෙදෙන කාන්තාවන්ට සිදුවන හිරිහැර, කරදර නිසා ඔවුන් සමහර විට ආබාධිත වෙලා එන්නෙ. නැත්නම් විවිධ හේතු නිසා මිය යන අයත් ඉන්නවා. එහෙම අය ණය අරගත්තම කවුද ණය ගෙවන්නෙ? මොන උදව්වක්වත් ඒ වෙලාවට නෑ. ඔබ දන්නවනෙ ක්ෂ්‍රද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ ණය අරගෙන කාන්තාවන් සිය ගණනක් ඒ ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගෙන. මේ ආකාරයට ණය දෙද්දි ස්ත්‍රින්ට විවිධ කතා කියනවා, සුන්දර සිහින ලෝකයක් මවනවා. තමන් මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වෙනුවට අපේ රටේ ස්ත්‍රින් ඒ සිහිනවල හඹා ගිහින් ගොදුරු බවට පත් වෙනවා. ගොදුරක් බවට පත් වුණාට පස්සෙ ඔවුන්ට සියදිවි නසාගන්නවා ඇර විසදුමකුත් නෑ. ඉතින් දැන් ක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා අමාරුවේ වැටුණු කාන්තාවන්ට මොන ඇමතිවරයද මොන ජනාධිපතිද මොන අගමැතිද උදව් කරන්නෙ? කවුද විසදුම් දෙන්නෙ? එහෙම උත්තර නෑ.

අනෙක් පැත්තෙන් වතුකරයෙ වැඩකරන ජනතාව තන්ට ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉල්ලනවා. ඒ අතර සාතිශය බහුතරයක් කාන්තාවන්. මේ සාධාරණ වැටුප් ඉල්ලීඹ ගැන විසදුම් ලබා දෙන්නෙ නැති පාලකයන් තමයි මේ බොරු සුරංගනා කතා මවන්නෙ. තවතවත් ණය උගුලට ඇද දමන්නෙ. ඊළගට ඇගලුම් ක්ෂේත්‍රය පසුගිය කාලෙ සිය ගණනක් සේවකයන් කම්හල් වසා දමලා එළියට ඇද දමනු ලැබුවා. මේ වැඩි දෙනා කාන්තාවො. ඒ ආකාරයට මැදපෙරදිග වේවා, වතු කම්කරු ක්ෂේත්‍රයේ වේවා, කටුනායක වේවා සේවයට යන කාන්තාවන් තමන්ගෙ ජිවිතේ අරමුනු වෙනුවෙන් වැඩ කරන්නෙ. අවදානම දරාගෙන වැඩ කරලා අසරණභාවයට පත් වෙනවා. අවසානයෙදි ඔවුන්ට හිමි වෙන්නෙ නොසැළකිල්ල. වැඩකරද්දි සිදුවන විවිධ හිංසා පීඩා, ලිංගික අඩත්තේට්ටම්, මේ සියල්ල විදදරාගෙන වැඩ කළාට ඔවුන් ගැන කිසිම වගකීමක් නෑ.

ඒ විතරක් නෙවෙයි, මේ රටේ පාලකයන්ට, සංවිධානවලට සහ සමාජ ක්‍රියාකාරිකයන්ට කාන්තාවගෙ ප්‍රශ්න මතක් වෙන්න ජාත්‍යන්තර කාන්තා දියක්ම එන්න ඕන. ජාත්‍යන්තර කාන්තා දිනය පහුවුණාම ආපහු කාන්තාවන්ගෙ ප්‍රශ්නවලට සංවේදි වෙන කවුරුවත් නෑ. කවුරුත් කාන්තා ප්‍රශ්නයකදි මේකයි විසදුම කියලා ක්‍රියාකාරිත්වයකට එන්නෙ නෑ. ඒ සාකච්ඡාව, කාන්තාවගේ ප්‍රශ්න ආපහු මතක් වෙන්නෙ ඊළග මාර්තු 8 වැනිදාට.

ඒ නිසා කාන්තාවන් විදිහට අපි මේ කාන්තාවන් ලෙස මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව හදුනාගන්න ඕන. ඒ වගේම ඒ ප්‍රශ්න විසදා ගැනීම වෙනුවෙන් ඒකරාශි වෙන්නත් ඕන. කවුරුවත් මේ ප්‍රශ්න විසදලා දෙයි කියන අදහස වෙනුවට අපේ ප්‍රශ්න විසදාගැනීමේ මූලිකත්වය අප ගත යුතුයි. මේ තත්වයට මුහුණ දෙන ප්‍රශ්න තියෙන කාන්තාවන් සංවිධානය විය යුතුයි. තවදුරටත් අපිව අන්දවන එක, පීඩාවට පත්කරන තලා පෙළන එක ඉබේටම අපි ප්‍රාර්ථනා කරන විදියට වෙනස් වෙන්නෙ නෑ. මේ තත්වයන් වෙනස් කිරීමේ කාර්යයට අපි මූලිකත්වය ගත යුතුයි. මේ පීඩාකාරි බව මේ පීඩාවන්ට බලපාන කාන්තාවන් ගොදුරුකරගන්නා සමාජ වටපිටාව, පසුගාමිත්වය වෙනස් කිරීමේ අරගලයක් අපට තිබෙනවා. ඒක පළමුවෙන්ම අපි වටහා ගත යුතුයි. අපේ රටේ කාන්තාවන් මේ කාරණය වටහා ගත යුතුයි. ඒ නිසා කාන්තා දිනයට කේක් ප්‍රදර්ශණ, මල් සැරසිලි හෝ රූප ලාවණ්‍ය තරග පවත්වලා මේ ප්‍රශ්න විසදාගන්න බැරි බවත් මතක් කරන්න ඕන.

මේ කාන්තාවන් මුහුණ දෙන පීඩාකාරිත්වයට විසදුම් සෙවීම සදහා කාන්තාවන් පිරිමින් සියලු දෙනා මේ පවතින පීඩාකාරි සමාජය වෙනස් කළ යුතුයි. අන්න ඒ පීඩාකාරි සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලියට අපි සම්බන්ධ නොවෙනතාක් කාන්තාවන් ඇතුළු අපි හැමෝම පෙළන මේ තත්වයන් වෙනස් වෙන්නෙ නෑ. ස්ත්‍රින් විතරක් නෙවෙයි, පිරිමි ඇතුළු හැමදෙනාම මේ සමාජය වෙනස් කිරීමේ අරගලයෙදි තමයි ඒ ස්ත්‍රින්ට මුහුණ දෙන්න සිදුවන ගැටලු නිරාකරණය කරගන්නා ආකාරය පිළිබද වැටහීමක් ලැබන්නෙ.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස අපි ජාතයන්තර කාන්තා දිනය නිකම්ම නිකං කාන්තා දිනයක් සෙ නෙවෙයි, වැඩ කරන කාන්තාවන්ගෙ දිනය ලෙස හදුන්වන්නෙ. ඒක ආරම්භ වුණෙත් එහෙමයි, අදවනවිට ධනවාදය විසින් වෙන විදියකින් අර්ථ ගන්වන්න හැදුවත් ඒක අදටත් වැඩ කරන කාන්තාවන්ගෙ දිනයයි. ඒ නිසා අපි කියනවා, මේ සමාජය වෙනස් කිරීමේ කාර්ය කාන්තාවන්ට විතරක් තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි, ඒක සමාජයක් ලෙස කළ යුතුයි, සාමුහිකව ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව අපි ඒකට මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හැටියට කාන්තා දිනයෙ ප්‍රධාන සටන්පාඨය ලෙස තොරාගන්නෙ "අනාගතය උදෙසා සටන් කරමු!" කයන එක. ස්ත්‍රින් මුහුණ දෙන ප්‍රශ්න පදනම් කරගෙන මේ වෙලාවෙ කාන්තාවන් මුහුණ දෙන ගැටලු අනුව අපි සටන් පාඨ කිහිපයක් තේමා කරගෙන කටයුතු කරනවා. එකක් 'විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රින් බිලිදම නවතනු!' ඊළගට 'ස්ත්‍රිය වෙළද භාණ්ඩයක් නොවේ-විකිණීමට එරෙහි වෙමු!', 'කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් පිටදකිමු!', 'මගේ ශරීරය - මගේ අයිතියක්' සහ ගෘහමය ශ්‍රමය නිෂ්පාදනයේ කොටසක් ලෙස පිළිගනු!' කියන සටන්පාඨය අපි ගේනවා. මොකද ගෙවල් ඇතුළෙ වැඩකරන, උයන පිහන, රෙදි හෝදන අතුපතු ගාන දරුවන් හදාවඩා ගන්නා ලංකාවෙ ලක්ෂ 33ක් වූ ස්ත්‍රින් වැයකරන ශ්‍රමය සම්බන්ධ අගැයීමක් වටිනාකමක් නෑ. ඒ කාර්යයන් ඇය කරන්නෙ නැත්නම් අනෙක් සමාජ ජිවිතයම පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අපි ඒ ශ්‍රමය නිෂ්පාදනයෙ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිලිගන්න කියන සටන් පාඨය ගෙන එනවා. ඒ වගේම කාන්තාවන් සහ දරුවො මේ වනවිට අපේ සමාජයේ අනාරක්ෂිත තත්වයට ඇද දමා තිබෙනවා. ඒ අය විවිධ මාධ්‍යවලින් සූරාකෑමට ලක්වෙනවා, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා. ඒ නිසා 'කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි සියලු ප්‍රචණ්ඩත්වයන් පිටු දකිමු!' කියන සටන් පාඨය අපි තේමාවක් ලෙස ගෙන එනවා. ඉතින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හැටියට අපි මේ සටන් පාඨ පදනම් කරගෙන සමාජයට සහ විශේෂයෙන් ස්ත්‍රින්ට දේශපාලන පනිවිඩයක් ලබා දෙන්න කටයුතු කරනවා.

අපිව තලා පෙළන, අපි පීඩාවට ඇන්දීමට රැවටීමට ලක්කරන මේ සමාජ ක්‍රමයට එරෙහිව අපේ අරගලය ක්‍රියාත්මක වෙන්න ඕන බව අපි විශ්වාස කරනවා. පිරිමින්ට එරෙහි අරගලයක් නොව මේ සමාජ ක්‍රමය විසින් සියලු මනුෂ්‍යයන් පෙළන තත්වය වෙනස් කිරීමේ අරගලයක් අපට අවශ්‍ය බව අපි විශ්වාස කරනාව. ඒ නිසා මේ සමාජයෙ සියලු තරාතිරම්වල ස්ත්‍රින් පීඩාවට ගොදුරු වෙනවා, විශේෂයෙන් වැඩ කරන කාන්තාවන් විවිධ ආකාරයෙන් පීඩාවට ගොදුරු වෙනවා. ඒ නිසා අපි ඔවුන්ට කියනවා මේ තත්වයන් වෙනස් කිරීමේ අරගලය සදහා දැනුවත්ව ඒකරාශි වෙමු, සංවිධානය වෙමු, සටන් කරමු කියන යෝජනාව අපි ඔවුන් ඉදිරියේ තබනවා."