“රට දුන්නේ කන්න නෙවෙයි” ජනපතිට එරෙහිව කහ ජැකට්කරුවෝ විරෝධයේ

පැරීසිය නිහඬ කළ ප්‍රංශ කහ ජැකට්ටුව

2019 ජනවාරී 01 වෙනිදා සිට ඉන්ධන මිල යුරෝ සෙන්ටිම් 7 කින් ඉහල දැමීමට ප්‍රංශ රජය තීරණය කරයි. වර්තමාන ප්‍රංශ රජය විසින් මෙම ප්‍රකාශය සිදු කළේ පසුගිය ඔක්තෝම්බර් මස පලමු සතියේය. ඒ අතරතුර විශ්‍රාමිකයන්ගේ මාසික වැටුපට අනුබද්ධ දැනට අය කර ගන්නා බදු ප්‍රතිශතය (සාමාන්‍ය සමාජ දායකත්ව බදු) සියයට 1.7 කින් ඉහළ දැමීමට තීරණය කළේය.

ඒ වගේම ඔක්තෝම්බර් 01 වෙනිදා සිට ගෑස් මිල හා විදුලි බිල ඉහළ දැමීය. පසුගිය ජුලි මස සියයට 7.45 කින් ඉහල ගිය ගෑස් මිල ඔක්තෝම්බර් මස තවත් සියයට 3.25 කින් ඉහළ දැමීය. අවසානයේ නොවැම්බර් 01 වෙනිදා සිට එම මිල නැවතත් සියයට 5.79 කින් ඉහළ දැමීය. මේ අනුව එක වසරක් තුල පමණක් ගෑස් මිල සියයට 20 කින් ඉහළ ගියේය. ඊට අමතරව මහජනයාට බලපාන වෙනත් බදු කිහිපයක්ද ඉහල දැමීය. වාහනයක් නඩත්තු කරන කෙනෙකු තාක්ෂණ පාලන බදු වැඩි වූයේය. වාහන නැවැත්වීමේ ගාස්තු වැඩි කළේය. අධිවේගී මාර්ග පිවිසුම් ගාස්තු වැඩි කළේය. සාමාන්‍ය ජනයාගේ අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහල ගියේය. මේ හේතුවෙන් ප්‍රංශ ජනයාගේ ජීවන බර නොදැනුවත්වම ඉහල ගියේය. ඒ සමගම ධනවතුන්ට බදු සහන ලබා දුන්නේය. යුරෝපයේ රටවල් අතර විවිධ ක්‍රම හරහා මහජනතාව ගෙන් වැඩි පුරම බදු අය කරන රට ප්‍රංශයයි.

10

ප්‍රංශයේ ගොවියා, ගුරුවරයා, හෙදිය, රාජ්‍ය සේවකයා, විශ්‍රාමිකයා ආදි ලෙස ප්‍රංශ ජනගහනයෙන් වැඩි කොටසකට ඉහළ මිල සමීකරණ ඔරොත්තු දුන්නේ නැත. එය පරම සත්‍යයයි. එම හේතුවෙන් ප්‍රංශ ජනතාව තුල ආණ්ඩුව කෙරෙහි විශාල විරෝධයක් ප්‍රති නිර්මාණය වූයේය. මෙම තත්වය විශාල නගරබද හා ඒ අවට ජනතාවට එතරම් තදබල නොවුනත් ඈත පිටිසර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට එය ඉතා තදින්ම දැනුන කරුණක් වූයේය. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු සාධකයක් වන්නේ ජීවන බර දරා ගැනීම අසීරු ලෙස බලපෑ ඈත පිටිසර ප්‍රංශ ජනතාව ආණ්ඩුවට එරෙහිව මහ මගට බැසීමට තීරණය කිරීමයි.

මෙහිදී සැලකිල්ලට ගතයුතු අනෙක් සාධකය වන්නේ මෙම විරෝධතාකරුවන්ගෙන් බහුතරයක් ගොවියෝ වීමයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනි විරෝධතාවයකට එක් වන්නේ ප්‍රථම වතාවටයි. එහි ප්‍රථිපලයක් ලෙස කිසිම සංවිධාන එකමුතුවකින් තොරව දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති සංවිධාන නොමැතිව අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලා ඔස්සේ වාද විවාද කරමින් එකිනෙකා හදුනා ගනිමින් මේවන විට ප්‍රංශය පුරා ව්‍යාප්ත කහ ජැකට් උද්ඝෝෂණය ආරම්භ වුයේය.

“ජනාධිපති මැක්රොන් එලවනු”, “මැක්රොන් බොනපාට්”, “ධනවතුන්ගේ ජනාධිපති ගෙදර යවනු”, “උඹට ප්‍රංශය භාර දුන්නේ විකුණන්න නොවේ” ආදි සටන් පාඨ සමස්තයක් ලෙස මේවන විට කහ ජැකට්කරුවන්ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්වී ඇත්තේය. පසුගිය නොවැම්බර් 17 වෙනි සෙනසුරාදා ප්‍රංශයේ පුරා ස්ථාන 2500 කදී දියත් කළ විරෝධතාවයට 2,87,710ක් සහභාගිවී ඇත්තේය.

එහිදී වැඩි පුරම ප්‍රධාන ගමනා ගමන මරමස්ථාන බාධක යොදා අවහිර කොට තිබූ හෙයින් ආර්ථික කටයුතු බොහෝමයක් අඩපන වුයේය. අධිවේගී මාර්ගවලට මුදල් ගෙවා ඇතුළු වන දොරටු සියල්ල විරෝධතාකරුවන් විසින් නොමිලේ ඇතුලු වීමට සැලැස්සුවේය. මෙම උද්ඝෝෂණයේ දී ඇතිවූ විවිධ හේතූන් මත 795 දෙනෙකු අත් අඬංගුවට ගත් අතර ඉන් 190 නිදහස් කළේය.

11

උස්ඝෝෂණය හේතුවෙන් මරණ දෙකක් සිදු වූයේය. තුවාලකරුවන් 606 ක් අතරින් ආරක්ෂක භටයන් 134කි. එදින උද්ඝෝෂණයට ආණ්ඩුව නිසි ප්‍රතික්‍රියා නොදැක්වීම හේතු කොට උද්ඝෝෂණය ඉදිරියට ගෙන යෑමට උද්ඝෝෂකයෝ තීරණය කළ හෙයින් පසුගිය 24 වෙනි සෙනසුරාදා පැරීසිය වටලන බවට මුලින් අනතුරු හඟවා එදින පැරීසියේ උද්ඝෝෂණ පැවැත් වූයේය.

ලෝකයේ ලස්සනම මාවත හෙවත් ඇවනිව් ෂොම් ශෙලිසේ, කොන්කෝඞ් චතුරශ්‍රය අවට හා ජනාධිපති මන්දිරය අවට හා ඒ හා සමාන්තර ප්‍රධාන මාර්ග වසා දමා දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ ආරක්ෂාව යොදා එම ප්‍රදේශ උද්ඝෝෂණකරුවනට තහනම් ප්‍රදේශ බවට දැනුම්දී තිබුනද එදින දහවල් 11 පමණ වන විට තහනම් ප්‍රදේශයක් වූ ෂොම් ශෙලිසේ මාවත උද්ඝෝෂකයන්ගේ පරාදීසයක් බවට පත් විමට එතරම් වේලාවක් ගත නොවීය. කෙසේ නමුදු මේවන විට කිසිදු සංවිධායකයෙක් නොමැති උද්ඝෝෂකයන් අතරට රාජ්‍ය දේපල විනාශ කරන්නන් කණ්ඩායම් ලෙස රිංගා ගැනීමට ඔවුන් දක්ෂයෝ වූයේය. අවසානයේ කහ ජැකට්කරුවන්ද මවිතයට පත් කරමින් රාජ්‍ය විරෝධීන් විසින් ලස්සන මාවත දෙපස කඩ සාප්පු කඩා කුඩු පට්ටම් කිරීමටත් මාවතේ විවිධ ස්ථාන කිහිපයක ටයර් දමා ගිනි අවුළුවා මහා විනාශයකටත් මුල පිරුවේය. කලහකාරී ලෙස හැසිරුනු හා මහජන දේපල වලට හානි කළ කැරලිකරුවන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන 23 දෙනෙකු රඳවා නඩු පවරා මේවන විට තිදෙනෙකුට යුරෝ 15000 ක දඩයක් හා මාස හයක සිර දඩුවම් ලබා දීමට කටයුතු කර ඇත්තේය.

කෙසේ නමුදු 24 වෙනි සෙනසුරාදා මුළු ප්‍රංශය පුරා 106301 කට ආසන්න ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගීවී ඇත්තේය. පැරීසියට 20000ක් පමණ කහ ජැකට්කරුවන් ප්‍රමාණයක් පැමිණ සිටියේය. ප්‍රංශය පුරා ඇති අධිවේගී මාර්ග අතරින් අධිවේගී 12ක් දකුනු දිග ප්‍රංශයේ මාර්ග බාධක යොදා අවහිර කර තිබුනි. 24 වෙනි සෙනසුරාදා උද්ඝෝකයන් හා පොලීසිය අතර ඇතිවූ ගැටුම් වලින් තුවාලකරුවන් වූ 138ක් අතුරින් 24 දෙනෙක් අග නගරයේය. ඔවුන් අතරින් හය දෙනෙකු පොලිස් භටයන්ය,. 24 වෙනි සෙනසුරාදා උද්ඝෝෂණය හේතුවෙන් වාහනයක් නොමැති කාන්තාරයක් බවට පැරීසිය පත් වූයේය. මාවත දෙපස කඩ සාප්පු සම්පූර්නයෙන්ම වසා දැමීය. නොනිදන නගරයේ නොනිදන මාවත ලෙස ප්‍රසිද්ධ වසර මුලුල්ලේ පැය විසි හතර පුරාවට මහජනයා ගෙන් හා සංචාරකයන්ගෙන් පිරී ඉතිරී පවතින ලෝකයේ ලස්සනම මාවත එදින සුසාන භූමියක සිරිය ගත්තේය.

gillet june 01

ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් ශෙලිසේ මාවත ලෝකයේ ලස්සනම මාවත ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රංශයට හිමි සුවිශේෂි අවස්ථාවන් සමරන්නේ මෙම මාවත කේන්ද්‍ර කොට ගෙනය. ඒ අතරින් ප්‍රංශ ජාතික දිනය විශේෂ වන්නේය. පසුගියදා පලමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සහභාගීවූ රාජ්‍ය නායකයන් 70ක් පමන පයින් ගමන් කලේ මෙම මාවත දිගේය. ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ සයිකල් සවාරියේ අවසාන වට දහය ගමන් කරන්නේ මෙම මාවතේය. නත්තල් සමයේ උදාවත් සමග මෙම මාවත ඉතාමත් වර්ණවත් විදුලි බුබුලු වලින් ආලෝකමත්වී ඇති අයුරු දැකබලා ගැනීමට බොහෝ සංචාරකයෝ පැමිනෙති. වසර පුරා පැය විසි හතරම ජනයා ගෙන් පිරි මෙම මාවත ප්‍රංශයට අති තීරණාත්මක වැදගත් රාජ්‍ය සංකේතයක් ලෙස සලකනු ලබයි. එවැනි ස්ථානයක් ගිනි ජලාවක් බවට පත් වෙනවා දැකීමට ප්‍රංශ ජනතාව කොහෙත්ම කැමති වන්නේ හෝ අනුමත කරන්නේද නැත. නමුත් පසුගිය නොවැම්බර් මස 24 වෙනි සෙනසුරාදා එම සිහින බොඳ කරමින් ලෝකයේ ලස්සනම මාවත කළු දුමාරයෙන් පිරි අමු සොහොනක් බවට පත්වීමට එතරම් වේලාවක් ගත නොවුනේය.

කෙසේ නමුදු ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ජනතාව බලාපොරොත්තු වන සහන නොලැබුනොත් මීටත් වඩා දැවැන්ත උද්ඝෝෂණයකට දෙසැම්බර් මස 01 වෙනි සෙනසුරාදා සූදානම් බව කහ ජැකට්කරුවන් ආණ්ඩුවට අනතුරු හඟවා සිටියේය. එබැවින් කහ ජැකට්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට තමන් සුදානම් බව ප්‍රංශ ජනාධිපති ප්‍රකාශ කර සිටියේය.

එසේ නමුදු උද්ඝෝෂණකරුවන් අතර සංවිධානයක් හෝ නායකත්වයක් නොමැති තත්වයන් තුල දෙපාර්ශවය අතර සාකච්ඡාවක් සිදු නොවුනේය. මෙම පරිසරය තුල 27 වෙනි අගහරුවාදා ජනාධිපති විසින් ජාතිය අමතමින් ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය ගැන විග්‍රහයක් කළේය. එහිදී ලබන වසර ආරම්භයේ ඉන්ධන මිල ඉහල දැමිමේ කිසිදු වෙනසක් සිදු නොවන බවද කීවේය. මෙයින් කෝපයට පත් කහ ජැකට් කණ්ඩායම් දෙසැම්බර් 01 වෙනිදා නැවතත් පැරීසියේ උද්ඝෝෂණ පවත්වන බවට රජයට දැනුම් දීමක් කළේය.

gillet june 06

ඒ අනුව 01 වෙනිදා උද්ඝෝෂණකරුවන් පැරීසියට පැමිනියේය. එදින ලස්සනම මාවතට ඇතුළුවීම සම්පූර්ණ ආරක්ෂාව යොදා අවහිර කොට තිබූ හෙයින් උදේ 10ට පමණ නන්දෙසින් පැමිනි උද්ඝෝෂකයෝ පැරීසියේ සුවිශේෂි ස්ථානයක් වූ චාර්ල්ස් ඩිගෝල් චතුරශ්‍රයේ පිහිටි නොහදුනන සොල්දාදුවන්ගේ ඓතිහාසික ස්මාරකය වටා රොක් වෙමින් විරෝධතාවේ යෙදුනු අතර ඊට පෙර සෙනසුරාදා මෙන් උද්ඝෝෂකයන් අතරට රිංගා ගත් රාජ්‍ය දේපල විනාශ කරන්නන් විසින් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීම හේතුවෙන් ආරක්ෂක පොලිස් භටයන් හා ඔවුන් අතර සටන් ඇවිලීම ආරම්භ වුයේය. ඒ අතරතුර ස්මාරකය තුල ඇති කුඩා කෞතුකාගාරය හා වෙනත් ඓතිහාසික වටිනා දැ විනාශ කළේය. ස්මාරකයේ වටා ඇති බිත්තිය විවිධ සටන් පාඨ වැකි වලින් වැසී ගියේය. උදේ 10ට පමණ ආරම්භවූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා රාත්‍රී 09 පමණ වෙනතුරු පැවැති අතර ස්මාරකය පිහිටි චතුරශ්‍රයෙන් විහිදෙන වෙනත් මං මාවත් වලට රොක්වූ උද්ඝෝෂකයෝ එහි නවතා තිබූ වාහන, කඩ සාප්පු, බැංකු ශාඛා, ආපන ශාලා, ෆාමසි, බස් නැවතුම් ආදිය කඩා බිඳ දමමින් ගිනි තබමින් විශාල විනාශයකට මුල පිරුවේය. එදින පැමිණි විරෝධතාකරුවන් සංඛ්‍යාත්මකව ඊට පෙරට වඩා අඩු වුවද සිදුවූ විනාශය පෙරට වඩා පස් ගුණයකින් වැඩිවී තිබු බව බලධාරීන් පවසන්නේය.

දෙසැම්බර් 01 වෙනිදා උද්ඝෝෂණයට 6000ක් පමණ සහභාගිවී ඇති අතර කැරලි මර්දන පොලිස් භටයන් 5000ක් ද පැරීසියේ ආරක්ෂාවට විවිධ ස්ථාන වල රඳවා සිටියේය. එදින කලහාකාරී තත්වයන් තුල 412 දෙනෙකු අත් අඬංගුවට ගෙන 378 දෙනෙකු රඳවා ගෙන සිටී. 133 දෙනෙකු තුවාල කරුවන් අතර 20 දෙනෙකු පොලිස් භටයන්ය. ප්‍රංශයේ ප්‍රධාන නගර වන මාර්සෙයි, ලීල්, බොර්ඩෝ, නන්ත්, තුලුස්, ලියෝන් යන නගර වලද සැලකිය යුතු අලභහානී හා එක් මරණයක් සිදුවී ඇති බව අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදයන්හී සඳහන් වන්නේය.

zz

මෙම කලබලකාරී දිනයේ ප්‍රංශ ජනාධිපති ආර්ජන්ටීනාවේ ජී20 සමුළුවට සහභාගි වෙමින් සිටියේය. 02වෙනි ඉරිදා සියරට පැමිණි ජනාධිපති සිදුවීම් නැරඹීමට පැරීසියේ සංචාරය කළේය. ඒ අතර තුර මග දෙපස ජනයා සමහරක් හූ කීවේය. මේවන විට ප්‍රධාන ඇමතිවරු ප්‍රධාන පක්ෂ නායකයන් අගමැති සමග ප්‍රශ්නයට විසදුම් සෙවීමේ සාකච්ඡාවක් සඳුදා පැවැත්වීය. මේවන විට රජයත් ජනාධිපතිත් දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ. එය අවබෝධ කරගත් රජය විවිධ විසදුම් සොයමින් සිටී.

අවසාන වශයෙන් මෙම ලියුම්කරු දැනට දශක තුනකට ආසන්නව පැරීසියේ ජීවත් වුවද මෙවැනි කලහකාරී තත්වයක් පැරීසිය තුලදී දැකපු ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කර තැබීම යෝග්‍යවේ. එබැවින් ප්‍රංශයේ ඉදිරි අනාගතය බොහෝ සෙයින් අනතුරට පත්වී ඇති බව පැරණි ප්‍රංශ ජාතිකයෝ පවසති.

වසර 1789දී සිදුවු ඓතිහාසික ප්‍රංශ විප්ලවයේ ආරම්භයද මේ හා සමාන බව පැරණි ප්‍රංශ පුරවැසියෝ අතීතය සිහිපත් කරමින් පවසති. එබැවින් කහ ජැකට් උද්ඝෝෂණය විශේෂ සැලකිල්ලකට භාජනය වීම නොවැලැක්විය හැකිය. ඉදිරියේදී ප්‍රංශ කහ ජැකට්ටුව ඉතිහාසයට එක්වීමද නොවැලැක්විය හැක.

සුනිල් ආනන්ද පැරීසියේ සිට