රටේ නීතිය හා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? 

 

දූපත්වල සිටින රට වැසියන් දූපත් මානසිකත්වය තුළම හිරවී සිටිනතාක් සහ ඔවුන් නිද්‍රා සහගතව සිටිනතාක් එවැනි රටවල අමන දේශපාලඥයින්ට යහපත්ය. එබැවින් ඔවුන්ට අවදි වීමට අවැසිවන දැනුම හිස්ගෙඩිවලට ඇතුලුවිය හැකි මාර්ගයන් ද එම දේශපාලඥයින් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් අසුරාතබනු ලබන්නේය. ඒවාට එරෙහි වීමට හෝ නිද්රා සහගත රට වැසියන්ට ඕනෑ නැත. ඔවුන් සිතන්නේ අපි හම්බකරගත්තොත් අපේ බඩ පිරෙනවා වැනි තැනක සිටය. එතැනින් එහාට මේ රටේ සිදුවන දේශපාලන ක්‍රියාවලීන් පිළිබද ඔවුන් දක්වන්නේ උදාසීන බවකි.

ආගම්,ජාති,කුල සහ පක්ෂ භේද මේ නිද්‍රාසහගත මිනිසුන්ට බොහෝ අවස්ථාවල දැවෙන ඉන්ධනය. ඉතිහාසයේ සිට ඒ බව දන්නා අමන දේශපාලඥයන් තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ක්‍රියාවලි සදහා එම ඉන්ධන ඉතා සූක්ෂම අයුරින් යොදාගනු ලැබීය. ඒවා ඉතිහාසයට සීමා වී නතර වන්නේ නැත. ඉතිහාසය වර්තමානයේ ද නැවත නැවතත් සිදුවෙමින් පවතී. එහෙත් ඒවායින් පාඩම් ඉගෙනගන්නේ නැත. නැවත නැවත රටවැසියා මේ උගුල්වල පැටලී විනාශවේ. මේ සියල්ලට හේතු කාරණා වන සැබෑ හේතූන් ඔවුන් කිසිදු දිනක වටහා ගන්නේ නැත. වටහා ගැනීමට අමන පාලකයින් ඉඩ තබන්නේ ද නැත. ජාතිය, ආගම, කුලය, පක්ෂ භේදවලින් මිනිසුන්ගේ ඔලුපිරවීමේ ව්‍යාපාරය ඔවුහු නිර්මාණශීලී අයුරින් ද අඛණ්ඩව ද කරගෙන යනු ලබති. ජාතිය, ආගම, සංස්කෘතිය වැනි වචන දූපත් වැසියන්ගේ බුද්ධියට වඩා හදවතට ආමන්ත්‍රණය කරන බව ඔවුහු දනිති. ඒවා හදවතට කාවැද්දීම මගින් දූපත් වැසියන් දිවි පිදීමට වුවද සූදානම් බව ඔවුහු දනිති. එලෙස ඔවුහු ඇනකොටාගෙන දිවි පිදුවද තමන්ට ඒ හරහා බලයේ රැදී සිටීමට හැකිවන බව ඔවුහු දනිති. එසේ ඇනකොටගෙන මියගියවුන් ද ඒ අතරතුර අතුරුදන්වූ උන් ද මෙම ජඩ පාලකයෝම තම බල අරගලය වෙනුවෙන් නැවත නැවතත් වාර ගණනාවක් විකුණති. එම ක්‍රියාදාමය මෙරට දේශපාලඥයින් විසින් අතීතයේ සිටම කරගෙන ආවකි.

රටක දේශපාලනමය හා නීතිමය රාමූන් පුළුල් වෙමින් තිබියදී ඒ සියල්ල නොසලකා හරිමින් ගෝත්‍රික යුගයක මෙන් පාලකයින් කටයුතු කරමින් සිටියදී ඒ පිළිබද කිසිදු විරෝධයක් නොමැතිව රටවැසියන් මුනිවත රැකීම ඉතාම බරපතල තත්ත්වයකි. එවැනි රටක් තිබෙන්නේ විශාල අර්බුදයක බව ද ඔවුහු නොදනිති. රටක ප්‍රධානතම නීතිමය ලියවිල්ල ද නොසලකාහරිමින් පාලකයින් කටයුතු කරද්දී, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි වෙද්දී ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැතිව පාට පක්ෂවලට හුරේ දැමීම තරම් විහිළුවක් තවත් නොමැත. එය පාට පක්ෂ වැනි පෞද්ගලික සහ පටු සීමාවන්හි සිට දැකිය යුත්තක් නොවන බව නොවැටහීමම අති විශාල අර්බුදයකි. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකාහරිමින් හිතුමනාපයේ පාලකයින් කටයුතු කර ඇති අයුරින් මින් ඉදිරියට රටේ නීතිය හා මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හිමිවන්නේ කුමන ස්ථානයක් ද යන්න පිළිබදව කිසිවකුට විශ්වාසයක් තැබිය නොහැකිය.

ඉදුනිල් උස්ගොඩ ආරච්චි