රාවය සහ ජනරන්ජන

ජනරන්ජන මහතා රාවයේ ප්‍රධාන කර්තෘ ධූරයෙන් ඉවත්වී ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම වික්ටර් අයිවන් මහතා පිලිගෙන ඇත. ජනරන්ජන රාවයෙන් ඉවත් වන්නේ සිදුවීම් සමුදායක ප්‍රතිඵලයක් අවසන පියවර ලෙසය. ඔහු රාවයෙහි ප්‍රධාන කර්තෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද විය. පලමුව සිදුවන්නේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඔහු ඉවත් කිරීමයි. එය "රාවය ගරන්ටීස් සීමිතයේ" අධ්‍යක්ෂක මණ්ඩල තීරණයකින් සිදු කරණු ලබයි. වික්ටර් අයිවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු අධ්‍යක්ෂක මණ්ඩලය ජනරන්ජනට එරෙහිව චෝදනා මාලවක් සාකච්ජා කොට ඔහුව ප්‍ර‍ධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කරනු ලැබුවේය. ඒ ක්‍රමවත් පරීක්ෂණයකින් තොරවය. පිලිගත් නීතිය නම් චෝදනා ඇත්නම් චෝදනා පත්‍රයක් සකස් කොට චූදිතයාට පිලිතුරු දීමට අවස්ථාවක් ලබා දී විභාගයක් පවත්වා තීරණයක් ලබා දීමයි. එසේ කටයුතු කිරීම ස්වභාවික යුක්තියේ මුල ධර්මයන්ට අනුකූල ව කටයුතු කිරීමයි . ස්වභාවික යුක්තියේ මූලධර්ම වලින් කියැවෙන්නේ දෙපාර්ශවයටම සවන් දිය යුතු බව තම නඩුවේ විනිශ්චයකරු තමාම නොවිය යුතු බවයි. රාවය සභාපතිවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩලය තමාගේ කතාව කියන්නට ජනරන්ජනට අවස්ථාවක් දී නැත. ඔවුන් චෝදනා කොට ඔවුන්ම නඩුව අසා ඔවුන් තීරණයක් ලබා දී ඇත.

එසේ ඉවත් කිරීමෙන් පසු ජනරන්ජනට තීරණය දැනුම් දී ඇත. ප්‍රධාන විධායක නිලධාරියාගේ රාජකාරිය සභාපතිවරයා යටතට පවරා ගනු ලබන බවද දැනුම් දී ඇත. තවද ප්‍රධාන කර්තෘ ලෙස ජනරන්ජන සභාපතිවරයාගේ සහ අධ්‍ය‍ක්ෂක මණ්ඩල උපදෙස් ප්‍රකාරව පුවත්පතෙහි වැඩ කටයුතු සිදු කරණු ලැබිය යුතු බව දන්වා ඇත. 

මෙසේ ඒකපාක්ෂිකව ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් තිබුණද ජනරන්ජන අධිකරණයට ගියේ නැත. පසුව අධ්‍යක්ෂක මණ්ඩලය තුලින්ම ජනරන්ජනට ආරංචි වූ දෑ කර්තෘ ධූරයෙහි තව දුරටත් කටයුතු කිරීමට දැරූ උත්සාහයද ව්‍යවර්ථ කිරීමට සමත්විය. එ අනුව පසුගිය බ‍දාදා දින ඔහු විසින් කර්තෘ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් අතර පසු දිනයේදී වික්ටර් අයිවන් මහතා එය බාර ගත් බව දැනුම් දෙන ලදි.

ජනරංජනගේ ඉල්ලා අස්වීමත් සමඟ අද සමාජයේ කතා බහට ලක් වී ඇති ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ වික්ටර් අයිවන් මහතා තවමත් රාවයෙහි අයිතිකරු ද යන කාරණයයි. සමාජයට මේ ප්‍රශ්ණය ඇසීමට සාධාරණ වූ හේතු ගණනාවක් ඇත. ඒ අතර ප්‍රධානතම හේතුව වන්නේ පසුගිය රජය සමයේ වික්ටර් අයිවන් මහතා විසින් රාවය මිලින්ද මොරගොඩ වෙත විකිණීමට දැරූ උත්සාහයේදී සහ එය වලක්වා ගැනීමට රාවයට හිතැති සමාජය ගත් පියවරයි. මොරගොඩ සහ අයිවන් මහතා අතර ගනුදෙණුව වැලැක්වීම සඳහා අයිවන් මහතාට රුපියල් ලක්ෂ පණහක මුදලක් ලබා දෙනු ලැබීය. ඒ මුදල එකතු කරණු ලැබුවේ රටෙහි මහජනතාවගෙනි. ඉන්පසුව අයිවන් මහතා රාවයෙන් ඉවත්විය. ජනරංජන කතෘ ලෙස පත් වූයේය. එදා එසේ රාවය බේරා ගැනීමට ධන පරිත්‍යාග කල මිනිසුන් අද නගන ප්‍රශ්ණය වන්නේ එසේ මුදලක් ලබා ගෙන ඉවත් වූ අයිවන් මහතාට තව දුරටත් රාවයට අයිතිවාසිකම් කිව හැකිද යන්නයි. අයිවන් මහතාට තව දුරටත් රාවයට බලපෑම් කල හැකිද යන්නයි. රාවයෙන් ඉවත් ව ගිය මාධ්‍යවේදියෙකු පවසන්නේ අයිවන් මහතා නැවත රාවයට එකතු වන්නේ නම් ඔහු ලබා ගත් රුපියල් ලක්ෂ පණහ නැවත ලබා දිය යුතු බවයි.

ඇත්ත වශයෙන්ම අද රාවය මේ රටේ ජනතාවගේ පුවත් පතකි. අද රාවය ජීවය ලබා ඇත්තේ රටෙහි ජනතාව එදා ගෙවූ මුදල්වලිනි. රාවයට තව දුරටත් තනි හිමිකරුවෙකු සිටිය නොහැකිය. නැතහොත් පුවත්පත මෙහෙයවන මුදලාලි කෙනෙකු සිටිය නොහැකිය. රාවය ලාබ ලබන ආයතනයක් නොවේ. ලාභාංශ හෝ කොටස් හෝ වෙනත් කුමන හෝ නමකින් අයිවන් මහතා ලබා ගත් මුදල රාවය ගරන්ටීස් ලිමිටඩ් තුල රුපියල් බවට පත් වු ආකාරය පැහැදිලි කල යුතුය. මක් නිසාද යත් එය ලාබ නොලබන ආයතනයක් බැවිණි. එය පූර්ණ සහ අවසානාත්මක ගෙවීමක් හෝ වන්දියක්ද යන කාරණය පැහැදිලි කල යුතුය. එම ගෙවීමෙන් පසු අයිවන් මහතාගේ කාර්ය භාරය කුමක්ද යන්න පැහැදිලි කල යුතුය.

රාවය මෙරට අලුත් දේශපාලන සංස්කෘතියකට ඔසවා තැබීමට පුරෝගාමි මෙහෙවරක් කල සමාජ ව්‍යාපාරයකි. ඒ තුල බොහො දේ කතා කලේය. අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලණය සහ එකි නොකී මෙකී බොහෝ දෑය. එහෙත් ජනරංජන විෂයෙහි එසේ රාවය කතා කල දෑ ක්‍රියාත්මක වූයේද යන්න ප්‍රශ්නයකි..

Upul Kumarapperuma