නාස්තිකාර පවුලේ අවසන් සැලැස්ම



සතර දෙනකුගෙන් යුතු පවුලක් ගැන සිතන්න.


ඔවුන් ලබන ආදායම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සංතෘප්ත කරගැනීමට ප්‍රමාණවත්ය . ඊට අමතරවත් යම් යම් දේ සන්තර්පණය කිරීමට ඒ ආදායමට හැකිය. නමුත් සිතු සේ වියදම් කිරීමටත් අසීමිත ආශාවන් පිටුපස හඹා ගොස් දකින දකින දේ කෙරෙහි ලොබ බැඳ, ඒවා මිල දී ගැනීමටත් ඔවුන්ට හැකි නොවේ. මේ පවුලේ මූලිකයා වන පියා කල්පනාකාරීය. ඔහු තම පවුලේ සාමාජිකයන්ගේ මූලික සහ වැදගත් අවශ්‍යතා පෙළ ගස්වයි. ප්‍රමුඛතාවය අනුව බැලූ කල පෝෂණය සහ සෞඛ්‍යය මුල් තැනට පැමිණෙන බව නොකිවමනාය. ඉන් පසුව වැදගත් වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි . ඒවාට මුදල් වෙන් කල පසු විනෝදය සහ අමතර කටයුතු සඳහා යෙදිය හැකි මුදල් ප්‍රමාණය ඔවුනට සිතා ගැනීම පහසුය. මේ පවුල ඉදිරියට ඇදෙන්නේ මේ සැලැස්ම තුලය. තමුන්ගේ ක්‍රය ශක්තිය කොපමණද, තමුන් වියදම් කලයුත්තේ කුමක් සඳහාද, කොතනදීද යන්න ඔවුහු හොඳ හැටි දනිති. ඔවුන් තුල යම් ඉතිරියක්ද තිබේ. එය ඔවුනට ශක්තියකි. මේ පවුලේ කුඩා දරුවන් දෙදෙනා ඇතැම් විට මේ අවබෝධයෙන් පිට පැන තම පමණ ඉක්මවා යන වියදම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරති. නමුත් කල්පනාකාරී දෙමාපියන් සැම විටම සිතන්නේ ක්ෂණික සතුට නොව සමස්ත පවුලේ ඈත අනාගතය දෙසයි. සාමාන්‍ය පවුලක් තුල මෙවැනි අයවැයක් පවත්වා ගැනීම අමුත්තක් නොවේ. එය ඕනෑම පවුලක අඛණ්ඩ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. අත්‍යාවශ්‍ය අවම කොන්දේසියකි.


කනගාටුදායක සහ පුදුම සහගත දෙය නම් තම පැවැත්ම පිලිබඳ මේ සරල අයවැය මනුෂ්‍ය වර්ගයා තම මහේශාක්‍ය පවුල වූ සමස්ත මනුෂ්‍ය වර්ගයා සහ මිහිකත සම්බන්ධයෙන් පවත්වා ගැනීමට අසමත් වීමයි. මිහිතලයේ සම්පත් සීමිත බවද මේ වේගයෙන් සම්පත් පරිභෝජනය කළහොත් ඉතා නුදුරේදී මේ පවුල බිඳ වැටෙන බවද පවුලේ සාමාජිකයන්ටත් මූලිකයන්ටත් දැනෙන්නට ගත්තේ පවුල බිහි වී බොහෝ කලක් යාමෙන් අනතුරුවයි. ඇත්ත වශයෙන්ම මේ පවුල යම් සමතුලිතතාවයක වසර දස දහස් ගණනක් පුරා පැවතිනි. එක් තැනකදී ඔවුහු දැනුමෙන් සහ තාක්ෂණයෙන් විශාල ප්‍රගමනයක් ලැබූහ. ඔවුනට දරාගත නොහැකි වුයේ එහි අතුරු ප්‍රතිඵලයි .


මිහිකත උණුසුම් වීම මනුෂ්‍ය වර්ගයා මුහුණපාන විශාලතම ගැටළුවක් බව අප මේ වන විට දනිමු. මෙය සිදු වන්නේ මූලික වශයෙන්ම වායු ගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුවෙනි. මනුෂ්‍යයා තම පැවැත්මේ අවම කොන්දේසියද උල්ලංඝනය වන ප්‍රමාණයට කාබන් ඩයොක්සයිඩ් වායුව විමෝචනය කොට ඇත. ඒ සඳහා අතත්‍ය (virtual ) අයවැයක් නිර්මාණය කිරීමට සිදු වී ඇත්තේ එනිසාය. මෙයට කාබන් අයවැය යයි නම් තබා තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳව අන්තර් රාජ්‍ය කමිටුව විසින් (inter governmental panel on climate change ) මේ අයවැය අර්ථ දක්වා ඇත්තේ අප මුහුණ දීමට නියමිත ඉතාම විනාශකාරී දේශගුණික ප්‍රතිඵල වලින් මිදී සිටිමින් අපට විමෝචනය කල හැකි උපරිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලෙසය. ලෝකයා මේ යන ගමනේ මේ වේගයෙන් ගියහොත් තව දශක තුනක් ඉක්බිති අප එම සීමා ඉරත් පනින්නේලු.


මෙම සීමා ඉර තීන්දු කොට ඇත්තේ කාර්මීකරණයට පෙර යුග වලදී තිබු ගෝලීය උෂ්ණත්ව අගයන්ට වඩා අංශක දෙකකට හෝ ඊට අඩු ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වීම උපරිම සීමාව කරගනිමින් , අපට විමොචනය කළහැකි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය විද්‍යානුකූලව මැනීමෙනි. මේ සෞඛ්‍ය සම්පන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් ට්‍රිලියනයක් පමණ වෙතයි සැලකේ. කාර්මික විප්ලවයේ සිට 2011 වසර වනතෙක් අප මේ ප්‍රමාණයෙන් 52%ක් පමණ පරිහරණය කොට තිබේ. තව ඇත්තේ 48%කි. මේ වේගයෙන් වැඩ සිද්ධ වුවහොත් එය වසර 2045 වන විටදී පරිහරණය වී අවසාන වනු ඇත.
මෙසේ මුළු ප්‍රමාණයෙන් 52% එක හුස්මට පරිභෝජනය කිරීමේ ප්‍රතිපලද අප දැනටත් හොඳ හැටි බුක්ති විඳින්නෙමු.
වසර 1900 සිට 1993 තෙක් මුහුදු මට්ටම ඉහල ගියාට වැඩි ප්‍රමාණයකින් සහ වේගයකින් 1993 සිට වසර 2010 තෙක් එම අගයන් ඉහල ගොස් තිබේ. උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ස්වාභාවික ලැව් ගිනි ප්‍රමාණය හැත්තෑව දශකයේ එම අගය මෙන් සත් ගුණයක් වී ඇත. මීට සමගාමීව පුරෝකථනය කල නොහැකි දැඩි නියඟ මෙන්ම මහා වර්ෂාද අධික වී තිබේ.


මෙහිදී දක්වා තිබෙන උෂ්ණත්වය අංශක දෙකේ අගයද සීමාකාරී අගයකි. කෙසේ හෝ උෂ්ණත්ව වැඩි වීම එම අගයට සීමා කරගත්තේ වුවද ලොව ඇතැම් තැන් වල ආන්තික ප්‍රථිපල නැවත්විය හැකි නොවේ. මෙම අගයට උෂ්ණත්වය සීමා කලද මේ සියවස අග වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් දෙකකින් ඉහල යනු ඇත. ඇමසෝන් වනාන්තරයේ ලැව් ගිනි ප්‍රමාණය උෂ්ණත්ව වැඩි වීම අංශක දෙකකට සීමා වුවද 2050 පමණ වන විට දෙගුණයක් වනු ඇත. එමෙන්ම ඉන්දියාවේ ගංගා නදියේ සහ අප්‍රිකා මහාද්වීපයේ නයිල් නදියේ වැසි කාලයේදී ගලා යන ජලය ප්‍රමාණය 20%කින් වැඩි වනු ඇත්තේ විශාල නිම්න ප්‍රදේශයක් ජලයෙන් යට කරමිනි. මීට පටහැනිව ඇතැම් ගංගා නිම්න පද්ධතීන් සිඳී වියලී යනු ඇත. මේ අනුව මිසිසිපි, ඩනියුබ් , මරේ ඩාලින් සහ ඇමසෝන් ගංගා නිම්න 30% ප්‍රමාණයකින් වියලි වනු ඇත. උෂ්ණත්ත්ව වැඩි වීම අංශක දෙකකට සීමා කලද මේ සියල්ල සිදු වනු ඇත.


ලෝකයා මෙතෙක් රඟපා ඇත්තේ නාස්තිකාර පුත්‍රයාගේ චරිතයයි. මේ මොහොතේ හෝ කල්පනා කොට යහමගට පිවිසීමට මේ අකීකරු පුත්‍රයාට හැකිද ?
පළමුවෙන් කල යුත්තේ රාජ්‍ය මට්ටමින් දැනටමත් එකඟ වී තිබෙන සම්මුතීන් සම්පූර්ණ ලෙසත් ක්‍රමවත් ලෙසත් පිළිපැදීමයි. ලොව විශාලතම ආර්ථිකයන් දෙක එවැනි බොහෝ සම්මුතීන් තඹ දොයිතුවකටවත් මායිම් නොකරන තත්වයක් යටතේ මෙයම අභියෝගයක් වී ඇත. මේ සම්මුතීන් හරි හැටි ක්‍රියාත්මක වන්නේ නම් 2020 වන විට ලෝකයේ සමස්ත කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 5%-12% අතර ප්‍රමාණයකින් අඩු වීමට නියමිතය.
රටවල් තමන්ගේ මට්ටමින් තව බොහෝ දේ කල යුතුය. හැකි පමණ බලශක්ති කාර්යක්ෂම කාර්මික යාන්ත්‍රණ වලට යා යුතු අතර බලශක්ති උත්පාදනය හැකි උපරිම ප්‍රතිශතයෙන් යුතුව ධරණීය ක්‍රමවේද මගින් සිදු කල යුතුය. ෆොසිල ඉන්ධන පරිභෝජනයටද තිත තැබිය යුතුය.


මෙවැනි අනුකලනාත්මක ප්‍රවේශයක් ලොව පුරා ක්‍රියාත්මක වුවහොත් 2020 වන විට ලෝකයාගේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය උපරිම තලයකට පැමිණෙන අතර එතැන් පටන් ක්‍රමිකව අඩු වන්නට පටන් ගනියි. ගල් අඟුරු , ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් වලින් දැනට ඉතිරි වී තිබෙන ප්‍රමාණය හා බැඳුනු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (එනම් ඒ සියල්ල දවා දැමුවහොත් පරිසරයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ) ටොන් ට්‍රිලියනයකි . මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නම් මෙම ෆොසිල ඉන්ධන ප්‍රමාණයෙන් අඩුම තරමේ හතරෙන් තුනක් ඒ තිබෙන ලෙසටම පොලෝ ගර්භය තුල ඉතිරි කල යුතුය.

දිනෙත් මල්ලිකාරච්චි