අප්‍රිකාවේ සිංගප්පූරුව හෝ ඩුබායි වීමට ගොස් චීන කොලනියක් වූ ජිබුටි රාජ්‍යය !

1977 ජුනි 27 වැනිදා ප්‍රංශ අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබන ජිබුටි රාජ්‍යය ලොව පුරා ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ “ප්‍රංශ කොලනියක්” බවටයි. ජිබුටි රාජ්‍යය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නටය.

මිලියනයක ජනතාවක් වෙසෙන ජිබුටි රාජ්‍යයේ පිහිටීම නිසා ඈත අතීතයේ සිටම අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමට යටත් විණි. 1862 දී ප්‍රංශ කොලනියක් වන ජිබුටි රාජ්‍යය පිහිටා තිබෙනුයේ රතු මුහුදේ දකුණු දොරටුවේ වන අතර එහි උතුරු ප්‍රදේශයෙන් සුවිස් ඇලේ එක් දොරටුවක් විවෘත වන රතු මුහුදේ කොරිඩෝව තුළය. මෙම පිහිටීම නිසාවෙන් ජිබුටි රාජ්‍යය මේ වනවිට සැලකෙනුයේ ඇමරිකන් සෙබළුන් 4000ක, ප්‍රංශ සෙබළුන් 1500ක් හා චීන සෙබළුන් 2000-10000ගේ ආක්‍රමණයට ලක්කල මහා බලවතුන් විසින් බෙදාගත් රාජ්‍යයයක් ලෙසය. අදවන විට එහි චීන ආර්ථික හා මිලිටරි බලපෑම විශාල ලෙස ඉහල ගොස් ඇත.

මෙම ආර්ථික හා මිලිටරි මර්මස්ථානය ඉලක්ක කරමින් වසර 2000දී ජිබුටි රාජ්‍යයට ඇතුළු වන චීන ආයෝජක බැංකුව ලෙස සැලකෙන, Asian Infrastructure Investment Bank විසින් ඩොලර් බිලියන 12-14 ආයෝජනයක් සිදු කරමින් අධිවේගී මාර්ග, ආර්ථික මධ්‍යස්ථාන හා ජිබුටි රාජ්‍යයේ සිට ඉතියෝපියාව දක්වා දිවෙන විශාල දුම්රිය මාර්ගයක්ද ඉදිකරන ලදී. එමගින් තම Belt and Road ව්‍යාපෘතිය ඔස්සේ අප්‍රිකාවට ඇතුළුවීමට චීන රජය අපේක්ෂා කරයි. ජිබුටි රාජ්‍යයේ DORALEH වරාය සංවර්ධනය කරමින් එයද අත්පත් කරගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය අත්පත් කරගත් ආකාරයටම වේ. එසේම එයට ආසන්නයේ නිදහස් වෙළඳ කලාපයක් බිහිකර ඒවායේ ආරක්ෂාවට යයි පවසා චීන හමුදාවේ සෙබළුන් 1000ක් රඳවා ඇති අතර එය 10000ක් දක්වා ඉහල නැංවීමට අවශ්‍ය කොන්දේසියක්ද ජිබුටි රාජ්‍යය සමග අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමට ඇතුළු කරගැනීමට චීනය සමත්වේ. එසේම ජිබුටි රාජ්‍යයේ ණය ප්‍රමාණයෙන් 70%ක ණය හිමිකරුවාද වන්නේ චීනයයි.

1999 සිට වසර 22ක් පුරා එරට පාලන බලය හොබවන Ismaïl Omar Guelleh ගේ පාලනය යනු සිය මිලිටරි හා සිවිල් කල්ලියට පමණක් ලැබෙන සේ සියළු වරප්‍රසාද, ලාභයන් මෙන්ම ජනතා මුදල් උදුරාගත් ඒකාධිපති රෙජිමයකි. චීන හා අනෙකුත් විදේශ ආයෝජන වලින් අල්ලස් ලබාගනිමින් හා කළු සල්ලි සුදු කරමින්, දුෂණය, නාස්තිය සාමාන්‍යකරණිය කරමින් පවත්වාගෙන යනු ලබන දුෂිත රාජ්‍යයකි. විශේෂයෙන් ආර්ථිකය හා ආරක්ෂාව මෙහෙයවනු ලබනුයේ Ismaïl Omar Guellehගේ පවුලේ සාමාජිකයින් හා ඔහු විසින් ගොඩනගා ගන්නා ලද දුෂිත මිලිටරි හා සිවිල් නිලධාරීන්ගේ කල්ලියක (mamasanisation )ආධාරය ඇතිව වේ.

විරුද්ධවාදීන් සිරගත කරමින්, අධිකරණය තමන් අතට ගනිමින්, රට තුල සමාජ ජාලා අවහිර කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අකුළමින්, නිදහස් මාධ්‍ය මර්දනය කරමින්, සුළු ජාතීන්ට එරෙහිව ජාතිවාදය පතුරමින් හා ජාතීන් අතර ගැටුම් ඇති කර එකිනෙකා කොටවමින්, Ismaïl Omar Guelleh නැවත වරක් මෙම වසරේ අප්‍රියෙල් මස 8 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් බලයට පත්වනුයේ විපක්ෂය විසින් එය වර්ජනය කල වටාපිටාවක් තුළය. වසර 22 පාලනය කාලය පුරාම පැවති මැතිවරණවලදී කිසියම් හෝ ත්‍රස්ත්‍ර ප්‍රහාරයක්, අසත්‍ය ව්‍යාපාරයක් පතුරුවා ජනතා අනුකම්පාව ලබාගනිමින් හා ඔවුන් නොමග යවමින්, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඒවා ජයග්‍රහණය කල බව විපක්ෂය චෝදනා කරනු ලබයි.

Ismaïl Omar Guelleh හා එම කල්ලිය විසින් ජාතිවාදය මෙන්ම විදේශීය හමුදාවද තම ඒකාධිපතිවාදය ආරක්ෂා කරගැනීම උදෙසා ඉතා නිර්ලජ්ජිත ලෙස යොදාගනු ලබයි. කිසිදු විශාල ආර්ථික මුලාශ්‍රයන් නොමැති එහෙත් භුමිය පමණක් තම ආර්ථික ප්‍රථිලාභ ලෙස යොදා ගනිමින් එනම් වරායන්, සේවා, කළු සල්ලි හා තම වෙරළ ආශ්‍රීත ප්‍රදේශ ඇමරිකාවට, ප්‍රංශය හා චීනයට හමුදා කඳවුරු ගොඩනැගීමට කුලියට ලබාදෙමින් එයින් ලැබෙන ආදායම් වලින් මෙම කල්ලිය මේ දක්වා යැපේ. මෙම කුලී සේවාවන් වලින් ලැබෙන ආදායම Ismaïl Omar Guellehගේ කල්ලිය විසින් බෙදා ගනු ලබයි. ඒ අතර කෘෂිකර්මය ( 3%) හා රත්තරන්, ගෑස්, තඹ වැනි කාර්මික කේෂ්ත්‍ර(15% ) වලින් ආර්ථිකයට ලබාදෙන ශක්තිය ඉතාමත් අඩු අගයක් ගනී.

ජිබුටි රාජ්‍යයයේ ජනගහනයෙන් 70% නියෝජනය කරනු ලබනුයේ වයස 35ට අඩු තරුණ ප්‍රජාව ගෙනි. රැකියා විරහිතභාවය 70% වඩා ඉහල අගයක් ගනී. නිදහස ලැබීමට පෙරත් ඊට පසුත් සුළු ජාතීන්ට රාජ්‍ය ව්‍යුහය තුළ හෝ පුද්ගලික කේෂ්ත්‍ර වලදී ජාතිවාදය හේතුවෙන් රැකියා අහිමි කරනු ලැබූ අතර එය තවමත් වෙනස් වී නැත. චීනය විසින් අධිවේගී මාර්ග ගොඩනැගීමේදීත්, වරායන් හා නිදහස් වෙළඳ කලාපයන් ඇතිකිරිමේදීත් දේශීය තරුණ ප්‍රජාවට ලැබුණු රැකියා අවස්ථාවන් ඉතාමත් අවම අගයක පැවතීම ද මෙයට හේතුවයි. සෑම වැසියන් හතර දෙනෙකුටම එක් අයෙකු ජීවත්වනුයේ දිනකට ඩොලර් එකක ආදායමකිනි. පසුගිය වසරේ 2020 ජුනි මාසයේදී රජයට එරෙහිව උද්ඝෝෂණ ඇතිවූ අතර ඒවා දරුණු ලෙස මර්දනය කරන ලදී.


Lankatruth.com