නොවටිනා ජිවිත!!

ලංකාවේ ජනගහනයෙන් 52% කට වැඩි ප්‍රමාණයක් ස්ත්‍රීන්ය.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ස්ත්‍රීන්ගේ මැදිහත්වීමක් වෙනුවෙන් අපි "52% බලය" ව්‍යාපාරය නිර්මාණය කළෙමු. එයට විවිධ අංශවල වැඩ කරන ස්ත්‍රීහු බොහෝ දෙනෙක් සම්බන්ධ වී සිටිති. ඒ පිළිබඳව නිදහස් වෙළඳ කලාපයේ ස්ත්‍රීන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා අපි ඔවුන් හමු වීමට පසු ගිය සතියේ ගියෙමු. 

 

නිදහස් වෙළඳ කලාපය යනු මෙරටේ ප්‍රධාන ආදායම් මාර්ග ත්‍රිත්වයෙන් එකකි. එහි සේවය කරන්නේ මෙරටේ පුරවැසියන්ය. බහුතරය ස්ත්‍රීන්ය. ඇඟලුම් ආයතනයේ තිබෙන ප්‍රශ්නවලට අමතරව එදිනෙදා ජීවිතයේදී ඒ අය මුහුණ දෙන ප්‍රශ්න බැලු විට පෙනී යන්නේ අපි සිටින සමාජය වැඩ කරන ජනයා මුල් කොටගත් ගරු කටයුතු සමාජයක් ලෙස ගොඩ නැගෙන්නට තව බොහෝ කල් ගත වනු ඇති බවයි. මේ ඔවුනගේ ජිවිතයෙන් බිඳකි!

 

කර්මාන්ත ශාලාවේ තමන්ගේ වැටුප් හා සිදුවන අක්‍රමිකතා ගැන කතා කිරීම නිසා සේවයෙන් ඉවත් කරනු ලැබූ බොහෝ පිරිසක් එහි විය. ඒ අතර ගණිකා වෘතියේ යෙදෙන ස්ත්‍රීන්ද විය. කර්මාන්ත ශාලාවේ පිටත පරිසරයේ සිය එදිනෙදා ජීවිතය ගෙවෙන ආකාරයට මේ සමහරක් නිදසුන්ය. ඔවුන් පොළට බඩු ගැනීමට ගිය විට විශේෂයෙන් වම්බටු, කැරට් වැනි එළවලු මිලදී ගන්නා විට අනේකවිධ විහිළු හා අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදුවන බව පැවසීය. කිසිදු අවසරයකින් තොරව තමන්ගේ පිටු පසින් විත් දුරකථන නොම්මරයක් දිගු කරන බවත් එය නොගතහොත් නින්දිත ආකාරයෙන් බැන වදින බවත් පැවසීය. 

 

බස් රථයේදී බොහෝ පිරිමින් ඇඟට හේත්තු වන නමුත් එයට විරෝධය පල කළ විට "අනේ උඹලා මේ ගමේ කරත්තවල ගිහිපු එවුන්, උඹලට අපි ඇඟේ ගෑ වූනාම තමයි ප්‍රශ්නේ" යැයි වැනි නොයෙක් දේ පවසා ඉතාමත් නරක අන්දමින් ලජ්ජාවටත් භීතියටත් පත් කරන බව පැවසීය. බොහෝ පිරිමි මෝටර් බයිසිකල් වලින් යන විට සිය පස්සට ගසා ගෙන යන අතර එවැනි අවස්ථාවන් වලදී පුටුව මත හිඳගෙන වැඩ කිරීම ඉතාමත් වේදනාකාරී බවත් එවැනි අවස්ථාවල ජීවිතය නැති කර ගැනීමට පවා සිතෙන බවත් ඔවුන් පැවසීය. ඒ නිසා පයින් යන සෑම විටෙකම දුවමින් යන බවත් කීය. 

 

බොහෝ පිරිමි තමන් වැඩ ඇරී එන විට පුරුෂ ලිංගය එළියේ දමාගෙන හෙල්මටයෙන් වසාගෙන සිටින බවත් එය පෙන්වීම බහුල දර්ශනයක් බවත්, එයට විරෝධය පෑම හේතුවෙන් ඔවුන් නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක් වන බවත් ඔවුන් පැවසීය. 

 

තමන් කැමති ඇඳුමක් ඇඳි විට සමච්චල් කිරීම බහුල බවත් ඒ පිළිබඳව පැමිණිලි කල විට පොලීසිය, අදාල ආයතන ප්‍රධානීන්, අනෙකුත් තීරණ ගන්නා බොහෝ අය පවසා ඇත්තේ ඒවා වලක්වා ගැනීම පිණිස ඔවුන් 'පිළිවෙලකට' ඇඳිය යුතු බවයි. එහෙත් අපිට හමු වූ ස්ත්‍රීන් පැවසුයේ වෙළඳ පොලේ තමන් කැමති දේ විකුණන්නේ නම් එය ඇඳීමේ ඇති වැරැද්ද කුමක්ද යන්නයි. 

 

ඔවුන් ජීවත්වන බෝඩිම් නිවාසවල පුංචි කාමරයක හය හත් දෙනෙකු සිටින බවත් කාමරයේ බල්බයක වොට් ගණන 25ක් බවත් පැවසීය. දිනකට පැය 12කටත් අධික කාලයක් පුරා වැඩ කරන ඔවුන්ට වැඩ නොකරන කාලය තුල නිදාගැනීම හැර වෙනත් කිසිවක් මෙම බෝඩිම් කාමර අයිතිකරුවන් විසින් අපේක්ෂා කරන බවක් පෙනෙන්නට නැත. 

 

ඇඟලුම් කර්මාන්ත අවට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම කෙරීගෙන යන අතර තම සේවකයන්ට මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා කර්මාන්ත ශාලාවෙන් වැඩ කරන කාලය තුලදී පවා එලියට යාමට අවසර දී ඇත. ඒ කිසිදු හේතුවක් නිසා නොව මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු ඔවුන් 'යක්කුන්' මෙන් වැඩ කරන නිසාය. පිරිමි සේවකයන් පමණක් නොව ස්ත්‍රීන්ද විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ගොදුරුව ඇත්තේ සොම්බින් සේ වැඩ කිරීමට මිස සිහියෙන් සිටීම කර්මාන්ත ශාලව තුල, බෝඩිම් කාමරය තුල, සමාජය තුල ඔවුන්ගෙන් අපේක්ෂාවක් නොමැති නිසාවෙන් විය හැකිය. 

 

ඇත්ත වශයෙන්ම මේ ජිවිත අපේ රටේ වැඩ කරන ජනයාය. ඔවුන් වෙනුවෙන් කිසිදු සමාජීය මැදිහත්වීමක් නොමැත්තේ ඔවුන්ගේ ජිවිත නොවටිනා ජිවිත නැතහොත් එයට අර්ථයක් නොමැති, වටිනාකමක් නොමැති ගර්හිත නොජීවිත නිසාය. මේ ජිවිත මෙවන් ඉරණමකට ගොදුරුවීමට හේතුව සහ 13 වනදා මිනුවන්ගොඩ මුස්ලිම් ජනතාවගේ ගෙවල් ගිනිබත් කිරීමෙන් පසු පාරේ සිට ගෙන සිටි මිනිසුන් පවා සිර කරනු ලැබීමට හා අනෙකුත් එවැනිම වූ ජිවිතවලට හානි කිරීම වෙනුවෙන් මිනිසුන් මෙහෙයවීමටද ඇති හේතුව එකකි. එනම් ඔවුනගේ ජිවිත යනු ඕනෑම දෙයක් වෙනුවෙන් දිය කර හැරීමට හැකි නොවටිනා ජිවිත වීමයි. ඒවා අර්ථයක් නොමැති ජිවිත වීමයි. එය අපගේ රාජ්‍ය මෙන්ම මේ සමාජය වෙලාගෙන ඇති අති භයානක ත්‍රස්තයයි.

 

(Liberation Movement)