ස්වර්ගයට පෙර ලෝකය සුන්දර කරගැනීමේ අත්‍යවශ්‍ය සාකච්ඡාව

කෙටියෙන් !

අප්‍රේල් 21 තුච්ඡ ප්‍රහාරයෙන් පටන් ගත් ඛේදවාචකය අවසන් නැත. තවමත් සිය සැබෑ මූලයන් සඟවාගෙන සිටින මේ බියගුළු අන්තවාදී ත්‍රස්තය, මේ දූපත පුරා මේ මොහොතේත් සැරිසරමින් පවතියි. සමාජය භීතියෙන් ඇළලී යමින් තිබේ. පාලකයෝ සිය අසමත් භාවය යළි යළිත් පෙන්වමින් සිටිති. අනෙක් පැත්තෙන්, සමාජ මාධ්‍ය බොරදියදහර ස්මාට් කාණු දිගේ සෙමෙන් සෙමෙන් මෝර වලට ගලා යනු පෙනෙයි.

ජාතිවාදය ආගම්වාදය කොහෙන් ආවත් කැතය. නින්දිතය. ම්ලේච්ඡය. ඒවා කාට කාට පාවිච්චි වන්නේ ද - වූයේ ද යන්න අනාගතය විසින් හෙළිදරව් කරනු ඇත. සියලු ආගම් අඩුවැඩි වශයෙන් පසුගාමීත්වයන් නඩත්තු කරයි. ඒ අතරින්, ඉස්ලාමය, ලෝකය පුරා කැපී පෙනෙයි. බුද්ධාගම ලංකාවේ කැපී පෙනුණි. ක්‍රිස්තියානිය ද ඉතා නරක වාර්තා තබා ඇත. ඒ සියලු ක්‍රියාකාරීත්වයන් එකී මුල් දහම්වලට පටහැණි බව ද ලියා තැබිය යුතුය.

මේ මොහොතේ රළ නගා නැග එන හැඟීම් සුනාමියට හසු වී, මිට මොළවාගත් `වටිනා දේ` අත් නොහරිමු. නිරායුධ මිනිසුන්ගේ ආරක්ෂාව වහා සහතික කරන්නැයි ඉල්ලමු. සොවින් සහ බියෙන් පසුවන කිතු බැතිමතුන්වත්, චකිතයෙන් සිටින මුසල්මානුවන්වත්, ඉතා ඉවසීමෙන් සිටින බෞද්ධයන් සහ හින්දුන්වත් එක සිතින් වැළඳගනිමු.

ඉන් අනතුරුව, අප එකිනෙකා තුළ නිධන්ගත මුග්ධභාවයන් පිළිබඳ සාකච්ඡාව; අප සියලු දෙනාට වැරදුණු තැන් සහ වරදින තැන් පිළිබඳ සාකච්ඡාව ; ලෝක මට්ටමේ දහං ගැටවලට හසු නොවී මොළයට ඉඩ දීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාව ; ස්වර්ගයට පෙර ලෝකය සුන්දර කරගැනීමේ අත්‍යවශ්‍ය සාකච්ඡාව ; විවේක බුද්ධියෙන්, සහෝදරත්වයෙන් පටන් ගනිමු !

2019 අප්‍රේල් 25

විමල් කැටිපේආරච්චි